අධිකරණ නියෝග නොතකා විදුලි ඉංජිනේරුවන්ට වැඩි වැටුප් ගෙවීමේ සුදානමක් :  "අයිතිවාසිකම් උදෙසා පාරිභෝගිකයෝ සංවිධානය" කියයි

2019-06-25 04:49:00       729
feature-top
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ඉකුත් අප්‍රේල් මාසයේදී ලබාදුන් නියෝග නොතකා පෙර පරිදිම වැටුප් ගෙවීමට එහි අධ්‍යක්ෂක මණ්ඩලය සහ විදුලිබල අමාත්‍යවරයා විසින් කටයුතු කරමින් සිටින බව  "අයිතිවාසිකම් උදෙසා පාරිභෝගිකයෝ සංවිධානය" චෝදනා කර සිටිනවා.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර සිටින්නේ විදුලිබල මණ්ඩලයේ සහ අමාත්‍යවරයා එලෙස සිදුකරනු ලබන නීතිවිරෝධී ක්‍රියා මාර්ගයට එරෙහිව තමන් නිතිය හමුවට යාමටද සුදානම් බවත් ගතවූ වසර 04ක කාලය තුලදී ඉංජිනේරුවරුන්ගේ වැටුප් ගෙවීම සඳහා වැඩිපුර විදුලි පාරිභෝගිකයින් ගෙන් අය කර ගත් රුපියල් කෝටි 600ක් වූ මුදලද යළි පාරිභෝගිකයින්ට ලබා ගැනීම සඳහා නීතිය හමුවට යාමට පසුබට නොවන බවයි.

 "අයිතිවාසිකම් උදෙසා පාරිභෝගිකයෝ සංවිධානය" විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

" ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක වන්නේ මේ රටේ නීතියට අනුව නොවේ. විදුලිය මිලදී ගැනීමේ සිට වැටුප් තීරණය කිරීම දක්වා සියලු ගනුදෙනු රටේ පවත්නා නීතියට එරෙහිව සිය අභිමතය මත තීරණය කිරීමට විදුලිබල ඇමති, විදුලිබල ලේකම්, ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය සහ ඉංජිනේරු සංගමයේ ඇතැම් නිලධාරීන් පිරිසක් ක්‍රියාකරයි.

වසර 2015 දී ක්‍රියාවට නැගු විශේෂ ඉංජිනේරු වැටුප එවැනි අයුතු සහගත තීරණයකි. මෙම වැටුප් තලය හේතුවෙන් ඉංජිනේරුවන්ට පමණක් සියයට 40 සිට 120 දක්වා විශේෂ වැටුප් වැඩිවීම් පසුගිය කාලය තුල සිදුවිය. ඉංජිනේරුවන් 1000කට පමණක් බලපෑ වැටුප් වැඩිවීම හේතුවෙන් ඔවුන්ගේ වැටුප් වැඩිවීම සදහා පමණක් ලංවිම විසින් අමතරව වසරකට රුපියල් කෝටි 100ක් ගෙවා ඇත. 2015 සිට 2019 දක්වා කාලය තුලදී මෙම වැටුප් වැඩිවීම හේතුවෙන් මෙරට විදුලි පාරිභෝගිකයාට දරන්නට වු අමතර වැය බර රුපියල් කෝටි 600කි. එය විදුලිබිල සියයට 5කින් අඩුකරන්නට තරම් සෑහෙන මුදලකි. මෙම අයුක්ති සහගත වැටුප් ක්‍රමය නීති විරෝධි හෙයින් එය ශුන්‍ය හා බලරහිත කිරීමට අභියාචනාධිකරණය පහුගිය අප්‍රේල් මාසයේදී තීන්දුවක් ලබා දෙන ලදී. එහෙත් මේ වන විට එම අභියාචානාධිකරණ තීන්දුවට පයින් ගැසීමට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර ඇත.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා විසින් එහි සාමාන්‍යධිකාරිවරයාට දන්වා ඇත්තේ අධිකරණය විසින් නීති විරෝධි යැයි තහනම් කල වැටුප නැවතත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ට ගෙවීමට අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කර ඇති බවයි. අධිකරණයට අපහාස කරන මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සදහා දැන් විදුලිබල ඇමති රවි කරුණානායක විසින් විශේෂ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කර තිබේ. එම පත්‍රිකාව මගින් අභියාචනාධිකරණයේ තීන්දුව නොසලකා තහනමට ලක්වු විශේෂ ඉංජිනේරු වැටුප නැවතත් ක්‍රියාත්මක කිරීමට ඇමති මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත.

විදුලි බල අමාත්‍යවරයා විසින් මෙහිදී කැබිනට් මණ්ඩලය නොමග යැවීම සදහා අදාල වැටුප් ගෙවීමට නීතිපතිවරයා විසින් නිර්දේශ කර ඇතැයි ද සිය කැබිනට් පත්‍රිකාවේ දක්වා ඇත. අධිකරණ තීන්දුවකට එරෙහිව නියෝගයක් ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කිරීම සදහා නීතිපතිවරයාට බලයක් නැත. ලංවිම සේවකයින් සදහා අභියාචනාධීකරණය නියෝග කර ඇති ආකාරයට නිසි වැටුප් ක්‍රමයක් සකස් කරන තෙක් දීමනාවක් වෙනුවට වැටුපක් ගෙවීමට හැකියාව ඇති බව පමණක් නිතිපතිවරයා නිර්දේෂ කර ඇත. එසේ ගෙවිය යුතු වැටුප් ක්‍රමය කුමක් දැයි නීතිපති වරයා සදහන් කර නැත. අනිවාර්යෙන්ම එය තහනම් කල වැටුප් ක්‍රමය නොවේ. එසේ නම්  නීතිපතිවරයා නොකියා කියන්නේ 2014 දී පැවති වැටුප් ක්‍රමය තාවකාලිකව ක්‍රියාත්මක කල හැකි බවය.

එහෙත් නීතිපතිවරයාගේ මතය විකෘතිකර ලංවිම පාලනාධිකාරිය සහ විදුලිබල අමාත්‍යවරයා දැන් උත්සහා කරන්නේ අධිකරණය විසින් තහනම් කල වැටුප් ක්‍රමය නැවත ක්‍රියාවට නැගීමටයි. අයීතීන් උදෙසා පාරිභෝගිකයෝ සංවිධානය විදුලිබල ඇමතිවරයාගේ මේ අධිකරණ විරෝධි ක්‍රියාමාර්ගයට එරෙහිව නීතිමය පියවර ගැනීමටද පසුබට නොවන්නෙමු. එසේම අසාධාරණ වැටුප් ක්‍රමය හරහා විදුලි පාරිභෝගිකයින්ගෙන් අයකරගත් රුපියල් කෝටි 600ක මුදල නැවත ලබාගැනීමටද පියවර ගන්නෙමු.

අධිකරණ නියෝගයක් නොතකා ක්‍රියාමාර්ගයට අමාත්‍ය  මණ්ඩලය ගන්නා උත්සහායෙන් පෙනී යන්නේ මෙරට පාලකයින් ජනතා ආරක්ෂාවට ඇති අධිකරණය පවා මායිම් නොකරන බවකි. රටේ ජනතාව අසරණ කරන තත්වයක් පාලකයින් විසින් උදාකර ඇත. ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සදහා සමස්ත ජනතාවම පෙල ගැසිය යුතුය. අධිකරණය මායිම් නොකරන ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරිය සහ ඇමති මණ්ඩලයට එරෙහිව සමස්ත ජනතාව සමග ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට "අයිතිවාසිකම් උදෙසා පාරිභෝගිකයෝ සංවිධානය" ක්‍රියාකරන බව නැවත වරක් තහවුරු කරමු.  

නීති විරෝධි ආකාරයට පත් කල කැබිනට් මණ්ඩලයක් බල රහිත කලේ මෑත ඉතිහාසයේදීය. එසේ නම් අධිකරණය නියෝගයක් නොතකා අධිකරණයට අපහාස කරන තීරණයක් ගතහොත් වත්මන් නැබිනට් මණ්ඩලය හා ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියට එරෙහිවවද නීති මගින් ක්‍රියාමාර්ග ගැනීමට අප පියවර ගන්නා බව රජයට දන්වා සිටිමු".

More News »