ඇමති ධූරවලින් ඉවත්වූ 06 දෙනෙක් අද සිට පසුපෙළ අසුන්වල - තිදෙනෙකුගේ වෙනසක් නෑ

2019-06-18 09:12:00       738
feature-top
අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නියෝජිතයන් සිය ධූර සම්බන්ධයෙන් අද (18) අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

හිටපු අමාත්‍ය අබ්දුල් හලීම් ඉකුත්දා ප‍්‍රකාශ කළේ සිය මන්තී‍්‍ර කණ්ඩායම පාර්ලිමේන්තුවේදී අද රැස්වී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බවයි. ඒ අනුව බොහෝ දුරට කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මන්තී‍්‍රවරුන් අද යළි අමාත්‍ය ධූර භාරගනු ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මේ අතර අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්තී‍්‍රවරුන් 6 දෙනෙකුට අද සිට පාර්ලිමේන්තු සභා ගර්භයේ පසුපෙළ අසුන් පනවා තිබෙනවා. ඒ ඔවුන් සිය අමාත්‍ය ධූර වලින් ඉල්ලා අස්වීමේ ලිපි කථානායකවරයා වෙත ලැබී තිබීම හේතුවෙන්. ඒ අනුව ඔවුන් ජ්‍යෙෂ්ඨත්ත්වය අනුව ආණ්ඩු පක්ෂයේ අසුන් ගනු ඇති.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය කබීර් හෂීම්, ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් සහ සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ගේ ඉදිරි පෙළ අසුන්වල වෙනසක් සිදු නොවන බවයි වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ. ඒ , රාවුෆ් හකීම් හා රිෂාඞ් බදියුදීන් පක්ෂ නායකයින් වීම හේතුවෙන්.

පක්ෂ නායක රැස්වීමේදී ඇතිකර ගත් එකඟතාවක් මත හිටපු අමාත්‍ය කබීර් හෂීම්ටද තවදුරටත් ඉදිරිපෙළ අසුන ලබා දීමට තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තුවේ ආසන වෙන් කිරීම සිදු වන්නේ ස්ථාවර නියෝග අංක 3 යටතේ කථානායකවරයාට ඇති බලතල අනුවයි.

(under the courtesy of nethnews.lk news web)

More News »