මුස්ලිම් මන්ත‍්‍රීවරු දෙදෙනෙක් යළි ඇමතිධුර භාරගැනීමට සුදානම්

2019-06-17 01:37:00       886
feature-top
ධුර අත්හැරි මුස්ලිම් මන්ත‍්‍රීවරුන් අතරින් දෙදෙනෙකු ඉදිරියේ දී යළි අමාත්‍ය ධුර භාරගනු ඇතැයි අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ඒ අනුව බොහෝදුරට කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් යන මන්ත‍්‍රීවරුන් යළි ඇමති ධුර භාරගනු ඇති බවයි කියවුණේ.

ඔවුන් දෙදෙනාට අමතරව රාවුෆ් හකීම්, රිෂාඞ් බදියුදීන් යන හිටපු අමාත්‍යවරුන් මෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ද ඉකුත්දා සිය ධුරවලින් ඉවත් වුණා.

කෙසේවෙතත් සෙසු පිරිස යළි අමාත්‍ය ධුර භාරගනු ඇත්දැයි මෙතෙක් වාර්තා වී නොමැති බවයි අමාත්‍ය මනෝ ගනේෂන් ප‍්‍රකාශ කළේ.

කබීර් හෂීම් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ වැඩබලන අමාත්‍යවරිය ලෙස අනෝමා ගමගේ ඉකුත්දා දිවුරුම් දුන්නා. එහෙත් අබ්දුල් හලීම් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශයට කිසිදු වැඩබලන අමාත්‍යවරයෙකු පත් කළේ නැහැ.

මේ අතර ධුරයෙන් ඉවත් වූ හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ද යළි අමාත්‍ය මණ්ඩලය හා සම්බන්ධ වන්නේදැයි නෙත් නිවුස් මෙහිදී  මනෝ ගනේෂන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. එහිදී කියා සිටියේ රිෂාඩ් බදියුදීන් යළි ඇමති මණ්ඩලයට පැමිණෙන්නේදැයි තමා නොදන්නා බවයි. ඒ පිළිබඳව සඳහන් කිරීමක්ද නොදන්නා බවයි කියා සිටියේ. කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් බවත් අනෙකුත් අය එක්සත් ජාතික පෙරමුණේ සිටින අය බවත් ඔවුන්ට ඇති තත්ත්වය සහ මේ අය අතර ඇති තත්ත්වය එක සමාන නොවන බවද කියා සිටියා.

කෙසේවෙතත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සිදු කළ උපවාසය හේතුවෙන් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව යටපත් වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර සඳහන් කළා.

කෙසේවෙතත් රිෂාඞ් බදියුදීන් යළි අමාත්‍ය ධුරයක් භාරගතහොත් යළි විශ්වාසභංගයක් ගෙන එන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශෙහාන් සේමසිංහ සඳහන් කළේ සියලූදෙනා අමාත්‍ය ධුර අත්හැරීම පවා රංගනයක් බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක ප‍්‍රකාශ කළේ ධුරවලින් ඉවත් වූ බහුතරයක් බොහෝ දුරට හෙට දිනයේ යළි අමාත්‍ය ධුර භාරගනු ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී අබ්දුල් හලීම් පෙරේදා (15) ප‍්‍රකාශ කළේ යළි අමාත්‍ය ධුර භාරගැනීම සම්බන්ධයෙන් හෙට දිනයේ සිය තීරණය ප‍්‍රකාශයට පත් කරන බවයි. පක්ෂයෙන් ඉල්ලීමක් ලැබුණහොත් යළි අමාත්‍ය ධුරය භාරගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් ද මීට පෙර ප‍්‍රකාශ තිබුණා.


(under the courtesy of nethnews.lk news web)

More News »