මධුමාධවගේ සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

2019-06-13 11:50:00       691
feature-top
මිනුවන්ගොඩ ප්‍රදේශයේ පසුගිය මැයි මස 13 වැනිදා ඇතිවු කලහකාරී සිද්ධියට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට  ඉල්ලා පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ උප නායක සහ ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්ද විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාල නඩු කටයුතු අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කළා.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය සිදු කළේ පෙත්සම්කාර  මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු මේ දක්වා කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා අධිකරණයට කළ සැලකිරීමෙන් අනතුරුවයි.

පොලිසිය සිදු කළ පරීක්ෂණවල සම්පිණ්ඩන වාර්තාවක් නීතිපතිවරයා වෙත ලැබී ඇති බවත් එම කරුණුවලට අනුව පෙත්සම්කරු මේ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය, විනිසුරු බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පවසා සිටියා.

මේ අතර යම් හෙයකින් තම සේවාදායකයාට අධිකරණයේ පෙනී සිටීමට නොතීසි ලැබුනහොත් ඒ අනුව අධිකරණයේ පෙනී සිටීමට ඔහු සූදානම් බව පෙත්සම්කරුගේ නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

මෙම පෙත්සම මගින් මධුමාධව අරවින්ද පවසා සිටින්නේ  මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී ඇතිවූ කලහාකාරී සිද්ධියට තමාගේ  සම්බන්ධයක් නොමැති බවත් දේශපාලන කටයුත්තක් සඳහා දිවුලපිටිය ප්‍රදේශය බලා පිටත් වූ අවස්ථාවේ ලබා ගත් වීඩියෝ දර්ශනයක් අනුව තමන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සූදානම් වන බවයි.

තමා වරදක් කළ බවට කිසිඳු සාක්ෂියක් නොමැති බවත් මෙම සිද්ධියට සම්බන්ධයෙන් තමාට එරෙහිව පොලීසිය විසින් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කර තමන්ගේ විදේශ ගමන් තහනමක් ලබා ගෙන ඇති බව ඔහු පවසා සිටියා.

එහිදී  තමාට ඇප ලබා ගත නොහැකි වන ආකාරයට එරෙහිව පොලීසිය විසින් අන්තර් ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවද පෙත්සම්කරු පවසා සිටියා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.


(under the courtesy of nethnews.lk news web)

More News »