බදුරලියේ පාසලක් ආසන්නයේ දමා ගිය අත්බෝම්බ යුද හමුදාව නිශ්ක්‍රීය කරයි

2019-05-24 04:39:00       646
feature-top
බදුරලිය පොලිස් වසමේ දික්හේන ප්‍රදේශයේ පාසලක් අසල දමා ගොස් තිබූ අත්බෝම්බ කිහිපයක් බදුරලිය පොලීසිය සොයා ගෙන තිබේ.

ඊයේ(23) රාත්‍රීයේ මෙම සොයා ගැනීම සිදු කර ඇත.

එම පාසලේ ආරක්ෂාවට යොදවා සිටි පුද්ගලයින් කිහිප දෙනෙකුගේ දැනුම් දීම මත මෙම අත්බෝම්බ කීපය සොයා ගෙන තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අද(24) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මෙම කරුණු අනාවරණ කළේය.

රට තුළ නීතිය හා සාමය ඉතා හොඳින් ස්ථාපිත කර ඇති මෙවන් මොහොතක හා ජාතික ආරක්ෂාව හොඳින් තහවුරු වී ඇති මොහොතක ඉතා පටු අරමුණු වෙනුවෙන්  මෙම පාසල ආසන්නයේ මෙම අත්බෝම්බ ගෙනැවිත් දමා ඇති බව තහවුරු වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් මේ වන විට පොලිස් කණ්ඩායම් 2ක් යොදවා විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලීසිය පවසයි.

මෙම ක්‍රියාව සිදු කල පුද්ගලයා පිළිබඳ එම ප්‍රදේශවාසීන්ගෙන් තොරතුරු ලැබෙමින් පවතින බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

මේ වන විට මතුගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියෝගය අනුව, මෙම අත්බෝම්බ කීපය යුද හමුදා බෝම්බ නිශ්ක්‍රීය අංශය යොදවා විනාශ කර තිබේ.


More News »