ඇප ලැබුණු තඹ කම්හලේ සේවකයින්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

2019-05-22 07:35:00       658
feature-top
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි වැල්ලම්පිටිය තඹ කම්හලේ සේවකයින් 8 දෙනෙකුට මැයි මස 27 දා  යළි අධිකරණයේ පෙනී සිටින්නැයි අද නොතීසි නිකුත් කෙරුණා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ ලබාදුන් නියෝගයකට අනුවයි. ඉකුත් අපේ‍්‍රල් 21 දින කොළඹ ප‍්‍රදේශයේ සිදු කළ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ බවට සැකපිටයි සැකකරුවන් 9 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණේ.

ඉකුත් මැයි මස 6 වනදා ඔවුන් ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා. එහෙත් එක් සැකකරුවෙකු ඇප කොන්දේසි මෙතෙක් සම්පූර්ණ කර නොමැති හේතුවෙන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා. ඒ අනුව සෙසු සැකකරුවන් 8 දෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සදහා අධිකරණයට කැදවීම අවශ්‍ය බව වැල්ලම්පිටිය පොලිසිය මෝසමක් ගොනු කරමින් අධිකරණය හමුවේ අද පවසා සිටියා.

සැකකරුවන්ට එරෙහිව සාක්ෂි හෝ චෝදනා ඉදිරිපත් කිරීම සදහා ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත හෝ වෙනත් පනතක් ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත්වීම හේතුවෙන් ඔවුන් ඇප මත මුදාහැරීමටයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රියන්ත ලියනගේ මීට පෙර නියෝග කළේ. එහෙත් මෙම සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් පසුව දැඩි කතාබහක් ඇති වුණා.

කොළඹ ෂැංග‍්‍රිලා හෝටලය තුළ සිදු කල මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමට සම්බන්ධ වූ ඉන්සාන් ඊබ‍්‍රාහිම්ට අයත් තඹ කර්මාන්ත ශාලාවේ මෙම සැකකරුවන් සේවය කර ඇති බවයි අනාවරණ වුණේ.
මේ අතර වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජී එස් හේවාවිතාරණ වහාම ක‍්‍රියාත්මක වන පරිදි ගාල්ල කොට්ඨාශය වෙත අද ස්ථාන මාරු කෙරුණා. ඒ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදියි.

(under the courtesy of nethnews.lk news web)

More News »