පාසල් සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්-දරුවන් පාසල් වෙත යොමු කරන්නැයි රජය හා විපක්ෂය ඉල්ලයි

2019-05-21 08:55:00       657
feature-top
වෙසක් සතියෙන් පසු දෙවන වාරය සඳහා පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙන්ම ගුරුවරුන් දෙමව්පියන් සහ ආදී ශිෂ්‍යයින්ගේ සහභාගීත්වයෙන් එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

පාසල් සෝදිසි කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක කමිටු මඟින් වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

එබැවින් බියෙන් සැකයෙන් තොරව දරුවන් අද සිට පාසල් වෙත යොමුකරන ලෙස එම අමාත්‍යාංශය ඉල්ලා සිටියි.

මේ අතර යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ(20) දිනයේ ප්‍රකාශ කළේ පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් දරුවන් පාසල් වෙත යොමුකරන ලෙස ඉල්ලා සිටින බවයි.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද පාසල්වල ආරක්ෂක කටයුතු පිළිබද සොයා බැලීමට අද තම ප්‍රදේශවල පාසල් වෙත පැමිණීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ දරුවන් පාසලට යොමුකිරීම සඳහා දෙමව්පියන් තුළ මානසිකත්වයක් ගොඩනැගීමට පියවර ගන්නා බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කළේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක අංශ ලබාදුන් සහතිකය පිළිබද විශ්වාසයක් පවතින බවයි.

මේ අතර පසුගිය සතියේ සිට දරුවන් සාමාන්යව පරිදි පාසල් වෙත පැමිණි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »