මා ඔයේ ගිලී තිබූ සිම් කාඩ්පත් 5000ක් කොච්චිකඩේ පොලිස් බාරයට

2019-05-20 07:11:00       675
feature-top
මීගමුව කොච්චිකඩේ, පොලිස් වසමට අයත් මා ඔයේ තිබී භාවිතයට නොගත්  දුරකථන සදහා යොදන සිම් කාඩ්පත් පන්දාහසකට ආසන්න ප්‍රමාණයක් කොච්චිකඩේ පොලීසිය විසින් සිය බාරයට ගෙන තිබේ.

අද (20) පෙරවරුවේ මාඔයේ මසුන් ඇල්ලීම සඳහා ගිය තරුණ පිරිසකට මේ සිම් කාර්ඩ් පත් අඩංගු ගෝනිය හමුවී ඇති අතර පසුව ඔවුන් වෙන්නප්පුව පොලීසියට කල දැනුම් දීමකට අනුව මේ ගෝනිය ගොඩට රැගෙන එන ලෙස පොලිස් නිලධාරීන් දැනුම් දී තිබේ.

මෙම ගෝනිය ගොඩට රැගෙන පැමිණ පරික්ෂා කිරීමේදී මෙය තිබී ඇත්තේ කොච්චිකඩේ පොලිස් වසමේ බැවින් මේ සිම් තොගය කොච්චිකඩේ පොලීසියට භාර දෙන ලෙස වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් විසින් දැනුම් දී තිබේ.

ඒ අනුව ගම්වැසියන් නැවත මේ සිම් කාර්ඩ් තොගය මාඔයෙන් එගොඩ කර කොච්චිකඩේ පොලිසියට භාර දී ඇත.

මේ සිම් කාර්ඩ් සමඟ මාතර ප්‍රදේශයේ පදිංචිකාරිනියකගේ ලිපිනයක් හා දුරකථන අංකයක් තිබී හමු වී තිබේ.

කොච්චිකඩේ පොලීසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  


(under the courtesy of adaderana.lk news web)

More News »