එක බිම් අඟලක්වත් සින්නක්කරව විදේශිකයන්ට දෙන්නේ නෑ

2019-03-19 01:57:00       606
feature-top
විදෙස් තාක්ෂණික දැනුම ඉඩම් මැනීමේ කටයුතු සඳහා යොදා ගැනීමට අපේක්ෂා කලද, රටේ එක බිම් අඟලක්වත් විදේශිකයන්ට ලබා දෙන්නේ නැතැයි ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉඩම් අමාත්‍යාංශයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

දශක ගණනාවක සිට නොවිසඳූන අවිස්සාවේල්ල මැතිවරණ බල ප්‍රදේශයේ කලුඅග්ගල මූණමලේවත්ත ප්‍රදේශයේ ජනතාවගේ ඉඩම් ඔප්පු සිහිනය යථාර්ථයක් කරමින් අමාත්‍යවරයා අතින් පවුල් 80ක් වෙත ඉඩම් ඔප්පු ප්‍රදානය ප්‍රධානත්වයෙන් ඉඩම් අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණක්ව පවතින ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදා දීමේ වැඩසටහන යථාර්ථයක් කිරීමට ඉඩම් අමාත්‍යාංශය කැප වී සිටින බවයි.

 ඉඩමට ඔප්පුවක් නොමැති වීමෙන් දරුවන් පාසලකට ඇතුලත්කිරීමේදී  පටන් ඉඩම් හිමිකම් පැවරීම දක්වා පවතින දුෂ්කරතා පිළිබඳව ඉඩම් අමාත්‍යවරයා ලෙස තමන්ට හොඳ අවබෝධයක් ඇතැයි පැවසූ අමාත්‍යවරයා උපරිම කාර්යක්ෂමතාවයකින් ඉඩම් ඔප්පු රටපුරා බෙදාදීමේ කටයුත්තට තම අමාත්‍යාංශය අත ගසා ඇති බව සඳහන් කළේය.

පක්ෂ- විපක්ෂ බේදයකින් තොරව දේශපාලන පාට කන්නාඩියෙන් නොබලා ඉඩම් අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇතැයි පැවසූ අමාත්‍යවරයා ඒ පිළිබඳව සෑම මොහොතේදීම පක්ෂ විපක්ෂ මහජන නියෝජතයින්ද ඇගයීමට ලක් කර තිබෙන බව සඳහන් කළේය.

 පාර්ලි‌‌මේන්තුව තුලදීත් අමාත්‍යාංශය තුලදීත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සිට ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්‌ද ජනතාව මුහුණ දී සිටින ඉඩම් ගැටළු පිළිබඳව නිරන්තරයෙන් කරුණු සැලකරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉඩම් අමාත්‍යාංශයේ කාර්යක්ෂම නිලධාරීන් සමඟ ඉඩම් ඔප්පු දස ලක්ෂයේ වැඩසටහන සාර්ථක කිරීමට දීපව්‍යාප්ත පියවර ගනිමින් සිටින බව වැඩිදුරටත් පැවසීය.  


(under the courtesy of adaderana.lk news web)

More News »