යුද අපරාධ වෙනුවෙන් ජාත්‍යන්තර පරික්ෂණයක් ඉල්ලා යාපනය සරසවි සිසුන් විරෝධතා පාගමනක

2019-03-15 08:46:00       632
feature-top
යුද සමයේදී මෙරට සිදු වූවා යැයි කියවෙන යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සලය විසින් මෙරට ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් දෙමුහුන් අධිකරණ ක‍්‍රියාවලිය තුලින් යුද අපරාධ කරුවන්ට දඬුවම් ලබාදිය යුතු බවට පවසමින් යාපනය විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා පාගමනක නිරතවූහ.

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කළ මෙම විරෝධතා පාගමන සඳහා, ජිනීවා යෝජනා සම්බන්ධ දැනුවත් කිරීමේ පෝස්ටර සහ යුද අපරාධ සම්බන්ධ සිතුවම් සහිත රථවාහන සහ වෙල්ලමුල්ලිවෙයික්කාල් හි මියගිය පිරිස සිහිකිරීම සඳහා වූ යාපනය විශ්ව විද්‍යාලය තුළ නිර්මාණය කර ඇති සැමරුම් ස්මාරකයෙහි අනුරුවක්ද රථයක සකස්කොට රැගෙනයාමද විශ්ව විද්‍යාල සිසුන් විසින් සංවිධානය කොට තිබුණි.

විරෝධතා පා ගමනේ යෙදුනු යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් පැවසූයේ යුද සමයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් මෙරට ආණ්ඩුව විසින් සිදුකරන ක‍්‍රියාවලිය හා පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ජනතාවට කිසිදු විශ්වාසයක් නොමැති බවත් මානව හිමිකම් කවුන්සලය මෙරටට ලබාදුන් කාලය නිසි ප‍්‍රයෝජනයට ගෙන පරීක්ෂණ නොපැවැත්වූ බවද කියා සිටියේය.

විශ්ව විද්‍යාල සිසුන් විසින් යාපනය සරසවියෙන් ආරම්භ කරන ලද විරෝධතා පා ගමන 16 වැනිදා දක්වා යාපනය දිස්ත්‍රීක්කය පුරා සංචාරය කිරීමට සංවිධානය කොට ඇත.
(under the courtesy of lankacnews.com news web)

More News »