සොච්චම් මුදලකට වී තොග අලෙවි කරගැනීමට ගොවියාට සිදු වෙලා

2019-02-16 01:35:00       658
feature-top
මෑත ඉතිහාසයේ දැවැන්ත වී අස්වැන්න නෙලීම ආරම්භ කර ඇතත් රජයේ සහතික මිලට වී අලෙවි කරගැනීමට ගොවියාට අවස්ථාව සලසාදීමට ආණ්ඩුව මෙතෙක් පියවර නොගැනීම තුල සොච්චම් මුදලකට  වී තොග අලෙවි කරගැනීමට ගොවියාට සිදුව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පෙන්වාදෙයි.

දඹුල්ල-කණ්ඩලම වාරි ව්‍යාපෘතිය යටතේ වී වගාකරන ලද බිමක සිට අද (16 ) දින පැවති මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ බව කියා සිටියේය.

අහස් දියෙන් හා සුළු වාරි ජලයෙන් වී වගාකරන ලද උතුර, උතුරු නැගෙනහිර උතුරු මැද හා වයඹ පළාත්වල වී අස්වනු නෙලීම ආරම්භ කර ඇතත් සහතික මිල යටතේ වී අලෙවි කරගැනීමට වී අලෙවි මණ්ඩලය මෙතෙක් ඉදිරිපත්වී නොමැති බවත්, මේ තත්වය තුල නාඩු වී කිලෝවක මිල රුපියල් 22-27 අතර මිල පරාසයකට අලෙවි කිරීමට ගොවියාට සිදුව ඇති බව නාමල් මහතා පැවසීය.

එසේම සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින් සඳහා රජය සහනදායි ණය යෝජනා ක්‍රමයකට  කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇතත් අගමැතිවරයා හා ජනාධිපතිවරයා අතර පවතින කඹ ඇඳීමක් හේතුවෙන් මෙතෙක් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මකව නැතැයිද, එම වැඩ පිළිවෙල වහාම ආරම්භ කර ඔවුන් ශක්තිමත් කරන ලෙසද  ඉල්ලා සිටියේය.

වී නිෂ්පාදනය සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුව ඇති බැවින් වී කිලෝවක අවම රජයේ සහතික මිල රුපියල් 50 ක කරන ලෙසත් එසේ කිරීමෙන් ගොවියාට මෙන්ම පාරිභෝගිකයටද සාධාරණයක් කළහැකි බවද පැවසීය.

දැනට පවතින වී කිලෝවක සොච්චම මිල යටතේ මහා සහල් මෝල් හිමියන් අසාධාරණ ලාභයක් උපයන බවට ජනාධිපතිවරයාම ප්‍රකාශ කර ඇති තත්ත්වය තුල ගොවියා හා පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීම සඳහා රජය මැදිහත්ව විය යුතු බවද හෙතෙම අවධාරණය කලේය.

රජය වී නිෂ්පාදන පිරිවැය අඩුකරලීමට කටයුතු කරන බව පැවසුවත් එසේ කර නොමැති බව පැවසු එම සම්මේලනයේ ලේකම් ටි.ඩි සරත් මහතා කියා සිටියේ කෘෂි යෙදවුම් මිල සියයට 40 කින් ඉහල ගොස් ඇති තත්ත්වය තුල වී කිලෝවක සහතික මිල රුපියල් 50 කරන ලෙසයි.
 


(under the courtesy of adaderana.lk news web)

More News »