අමල් පෙරේරා සහ ඔහුගේ පුතා වෙනුවෙන් මෙරට නීතීඥවරු ඩුබායි පොලීසියට කරුණු දක්වන්න සුදානමින්

2019-02-12 09:17:00       424
feature-top
ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ගායන ශිල්පී අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් අද(12) දිනයේ මෙරට නීතීඥවරුන් ඩුබායි පොලීසිය වෙත කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙයි.

නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේ ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීමට ඩුබායිහි බර්ඩුබායි පොලිසීයේ නීති නිලධාරියාගෙන් අද දිනයේ කාලය වෙන්කරගෙන ඇති බවයි.

ඒ අනුව අද දිනයේ නීතීඥ උදුල් ප්‍රේමරත්න ඇතුළු නීතීඥයින් කිහිපදෙනෙකු අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් කරුණු දැක්වීමට නියමිත බව සඳහන් වෙයි.

මේ අතර ඩුබායි අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන්  ගනු ලබන නීති ක්‍රියාමාර්ග පිළිබඳ රාජතාන්ත්‍රික මට්ටමින් අවශ්‍ය  දායකත්වය ලබාදෙමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එහි ප්‍රකාශිකාවක සඳහන් කළේ ශ්‍රී ලංකා තානාපති අංශ ඒ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට නඩු පැවරීමට අවශ්‍ය කටයුතු මේ දිනවල ඩුබායි පොලිසිය විසින් සිදුකෙරෙමින් පවතින බව තානාපති අංශ දැනුවත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
 
පසුගිය 05 වන දින ඩුබායිහි හෝටලයක සාදයක් පවත්වමින් සිටියදී ප්‍රබල අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සහ ළඟ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඊයේ(11) දිනයේ දී රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අනාවරණයක් සිදුකළේය.

ඩුබායිහි සිටින ඔහුගේ  හිතවතෙකු දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගනිමින් රංජන් රාමනායක මහතා මාධ්‍ය වෙත මෙම අනාවරණය සිදුකරනු ලැබීය.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් කැබිනට් මණ්ඩලය තුළ ද සිටින බවයි.


(under the courtesy of adaderana.lk news web)

More News »