විධායකය හා පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කරයි..අලූත් ව්‍යවස්ථාවෙන් ලංකාව විනාශ වෙන හැටි මහින්ද පෙන්වයි..

2019-01-23 03:33:00       599
feature-top
හිටපු ජනාධිපති විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.

ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත

පසුගියදා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක සභාව ඉදිරියේ ව්‍යවස්ථාවක කෙටුම්පතක් හැටියට සකස් කර තිබූ පිටු 187ක වර්ථාවක් අගමැතිවරයා සභාගත කළේය. ඉන් පසු ‘ව්‍යවස්ථාවකුත් නෑ ව්‍යවස්ථා කෙටුම්පතකුත් නෑ’ කියමින් ඔහු රට වටේ යන ආකාරය අපි දුටුවෙමු. එවැන්නක් කියන අතරම අලුත් ව්‍යවස්ථාවක් යටතේ ලංකාව බෙදිය නොහැකි එක්සත් රටක් හැටියට පවතින බවත්,  බුදු දහමට තිබුණු තැන වෙනස් නොවන බවත්, අගමැතිවරයාත්, එක්සත් ජාතික පක්‍ෂයේ වෙනත් ඇමතිවරුත් කියයි. රටේ පවතින කෘෂිකාර්මික පළිබෝධ උවදුරත්, ණය උගුල ඇතුලු අනේකවිධ අර්බුධ මධ්‍යයේ නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කෙරෙන මේ හොරගල් ඇහිලීම ගැන අපි කවුරුත් අවධානයෙන් සිටිය යුතුය.

වර්ථමාන පාලකයන් 2015 බලයට පැමිණෙන විට ජනතාවට දුන් ව්‍යවස්ථාමය පොරොන්දු දෙක වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, ස්ථාවර පාර්ලිමේන්තු ආණ්ඩු පිහිටුවීමට හැකිවෙන ආකාරයට මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමත් පමණි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මේ කෙටුම්තේ විධිවිධාන තිබේ.  අපි එයට විරුද්ධ නොවෙමු. නමුත් මෙහි යෝජනා කර තිබෙන නව මැතිවරණ ක්‍රමය 2017 දී පලාත් පාලන ආයතන හා පලාත්සභා වලට හඳුන්වාදුන් ආකාරයේ ‘පූර්ණ සමානුපාතික’ මැතිවරණ ක්‍රමයකි. ඒ මැතිවරණ ක්‍රමය ගෙන ඒමට 2017 කටයුතු කළ අයම දැන් එය ප්‍රතික්‍ෂේප කර ඇත. ස්ථාවර ආණ්ඩු ඇතිවෙන ආකාරයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට  නම් හඳුන්වා දිය යුත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් පිහිටවනු ලැබූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් යෝජනා කළ 70% ක් කේවල ආසන හා 30% ක් සමානුපාතික ක්‍රමයට මන්ත්‍රීවරුන් තෝරා පත් කෙරෙන ‘දෙමුහුන්’ ඡන්ද ක්‍රමයයි. එම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ දෙමුහුන් මැතිවරණ ක්‍රමය යෝජනා කලේ, 2002 සිට 2007 දක්වා එජාප සහ එජනිස ආණ්ඩු දෙකක් යටතේ අවුරුදු ගණනාවක් මුලුල්ලේ කරනු ලැබූ  අධ්‍යනයකින් පසුවය.

පාර්ලිමේන්තුව දරුණු ලෙස දුර්වල කර පලාත් ව්‍යවස්ථාදායකයන් විශාල වශයෙන් බලවත් කිරීමට අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ යෝජනා ඇත. පලාත් සභා වලට අයිති විශයන් ගැන පාර්ලිමේන්තුවෙන් නීති සෑදීමට  නම් හැම පලාත් සභාවක්ම එයට එකඟ විය යුතු වේ. එක පළාත් සභාවක් හෝ එම නීතියට  විරුද්ධ වුවහොත් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය මෙන්ම ජනමතවිචාරණයක්ද අවශ්‍ය වේ. නමුත් ඒ ආකාරයට සම්මත කරනු ලැබූ නීතියක් වුවද ඕනෑම පලාත් සභාවකට ඕනෑම වෙලාවක සරළ බහුතරයකින් සම්මත කරන පනතකින් අහෝසි කර දැමිය හැක (කෙටුම්පතේ 132 ඡේදය). පාර්ලිමේන්තුවේ බලය ඒ ආකාරයට සීමා කළ විට ඒකීය රාජ්‍ය ෆෙඩරල් රාජ්‍යයක් බවට පරිවර්තනය  වේ. අපි එයට සම්පූර්ණයෙන්ම විරුද්ධ  වෙමු.

සමගාමී ලැයිස්තුවට අයිති විෂයන් ගැන පාර්ලිමේන්තුව නීති සෑදීමට නම්  සියලුම පළාත් සභාවල එකඟත්වය ලබාගත යුතු වේ (134 ඡන්දය). එවන් එකඟතාවයක් ලබාගන්නවාද නැද්ද යන්න ගැන තීරණය කිරීමට වත්මන් ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට හිමි බලය එයින් අහෝසි වෙනු ඇත. පාර්ලිමේන්තුව විසින් නීතියක් සම්මත කළ පසුත් අලුත් ව්‍යවස්ථාවෙන් පිහිටු වීමට යෝජනා කර තිබෙන ව්‍යවස්ථාමය උසාවියට ඒ නීතිය අවලංගු කළ හැක. එයින් පාර්ලිමේන්තුවේ බලය තවත් හීන වේ (182-ඇ සහ 185 ඡේද). මේ ඉදිරිපත් කර තිබෙන ව්‍යවස්ථා කෙටුම්පතේ පලාත් සභා බලතල ලැයිස්තුවක් ගැනත් සමගාමී බලතල ලැයිස්තුවක් ගැනත් මධ්‍යම ආණ්ඩුවේ බලතල ලැයිතුවක් ගැනත් සඳහන් වුවද ඒ ලැයිස්තු අපේ වර්ථමාන ව්‍යවස්ථාවේ තිබෙන ලැයිස්තුද නැත්නම් වෙනස් ඒවාද යන්න සඳහන් කර නැත.

මේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පතත් සමඟ කිසිඳු ප්‍රයෝජනයක් නැති තොරතුරු අඩංගු ලියවිලි මිටි ගණන් සභාගත කෙරුවද වැදගත්ම කාරණයක් වන මේ බලතල ලැයිස්තු ඉදිරිපත් කර නැත. අලුත් ව්‍යවස්ථා යෝජනා වලට අනුව, මධ්‍යම ආණ්ඩුවේ නියෝජිතයා වන ආණ්ඩුකාරවරයාට පලාතේ මහ ඇමති යටතේ කටයුතු කිරීමට සිදුවේ. වත්මන් ව්‍යවස්ථාවේ විධිවිධාන වලට හාත්පසින්ම වෙනස්ව පළාතේ විධායක බලය ඇත්තේ මහ ඇමතිවරයාට මිස ආණ්ඩුකාරවරයාට නොවන බවට සඳහන්ව තිබීමෙන්ද මේ යෝජනාවල ෆෙඩරල්වාදී නැඹුරුව තවත් පැහැදිලි වේ (242 ඡේදය).

පොලිස් සේවය ජාතික පොලිස් සේවයක් සහ පලාත්බද  පොලිස් සේවාවන් 09 කට කඩා ඒ හැම එකටම වෙන වෙනම පොලිස් කොමිසම් ඇති කිරීමටත් මෙහි විධි විධාන ඇත. ජාතික පොලිස් සේවයට අයිති වන්නේ රාජ්‍ය විරෝධී කටයුතු,  මැතිවරණ සම්බන්ධ වැරදි, හොර මුදල් අච්චු ගැසීම වැනි නම්කරනු ලැබු කාරණා  කිහිපයක් පමණි.  අනෙක් සියලුම එදිනෙදා පොලිස් කටයුතු, එනම්  අපරාධ, වංචා, මත්ද්‍රව්‍ය, රථ වාහන, මහජන සාමය වැනි කරුණු අයිති වන්නේ පලාත්බද පොලීසි වලටය. (254, 259, හා 284 වෙනි ඡේද) මේ ආකාරයට පොලීසිය කොටස් කිහිපයකට  කැඩීමෙන්පමණක් මේ රට ඉවර කර දැමිය හැක. 13 වෙනි සංශෝධනයේ කුමක්  තිබුණත් අවුරුදු 30ක් මුලුල්ලේ කිසිම ආණ්ඩුවක් පොලීසිය කෑලි දහයකට වෙන් නොකලේ ඒ නිසාය.

අලුත් යෝජනා යටතේ, වර්ථමානයේ මධ්‍යම ආණ්ඩුවට අයත් විෂයන් සඳහා භාවිතා වෙන ඉඩම් හැරුණු විට සෙසු සියලුම රජයේ ඉඩම් අයත් වන්නේ පලාත් සභාවලටය. මධ්‍යම ආණ්ඩුවට එවන් රජයේ ඉඩමක් අවශ්‍ය වුවහොත්, එය අදාළ පළාත් සභාවෙන් ඉල්ලා සිටිය හැක. පලාත් සභාව ඒ ඉඩම නොදී සිටියහොත් එම දුක් ගැනවිල්ල ත්‍රිපුද්ගල බේරුම් කරන කමිටුවකට යොමු වේ. එම කමිටුවේ තීන්දුව ගැන සෑහීමකට පත්නොවන්නේ නම් මධ්‍යම ආණ්ඩුවට ව්‍යවස්ථාමය උසාවියට ඒ ඉඩම ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කළ හැක.  ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ කාරණයකට මධ්‍යම ආණ්ඩුව රජයේ ඉඩමක් පවරාගත්තත් අදාල පලාත් සභාවට ව්‍යවස්ථාමය අධිකරණය වෙත ඒ පවරා ගැනීමට විරුද්ධව පෙත්සමක් ඉදිරිපත් කළ හැක (302, 307 සහ 308 ඡේද).

අලුත් ව්‍යවස්ථා යෝජනා වලට අනුව මධ්‍යම ආණ්ඩුවෙන් හදිසි නීතිය ප්‍රකාශ කළත් එයට විරුද්ධව අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර වාරණයක් ලබාගත හැක. මාස තුනකට වැඩි කාලයකට නැත්නම් දින 180 ක කාලයක් ඇතුළත දින 90 කට වඩා හදිසි නීති තත්වයක් පවත්වාගෙන යෑමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍ය වේ (290-5, 291- ඈ, 292 ඡේද). එයින් ප්‍රායෝගිකව සිද්ධවන්නේ හදිසි තත්වයකටවත් මධ්‍යම ආණ්ඩුවට සුදුසු ආකාරයට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීමයි. හදිසි නීතිය ප්‍රකාශ කිරීමක් යනු විධායකයේ ක්‍රියාවකි. එවන් කාරණා සම්බන්ධයෙන් අධිකරණයට කටයුතු කිරීමට නොහැක. හදිසි නීතිය ප්‍රකාශ කිරීමට එරෙහිව වාරණයක් ලබාගත හැකිනම්, හදිසි නීතිය ප්‍රකාශ කිරීමෙන්ද පලක් නැත.

උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට හඳුන්වා දී ඇති විධිවිධාන (237-3 ඡේදය), වර්ථමානයේ ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි ව්‍යවස්ථාව සම්බන්ධ අධිකරණ බලය වෙනම ව්‍යවස්ථාමය අධිකරණයකට පැවරීම (181 සිට 191 දක්වා ඡේද) ඇතුලු තවත් ගැටලු ගණනාවක්ම ඇත. 1983 හයවන සංශෝධනයෙන් වත්මන් ව්‍යවස්ථාවේ 7 වෙනි උපලේඛණය හැටියට ඇතුළත් කරන ලද බෙඳුම්වාදයට එරෙහි විශේෂ ප්‍රතිඥාව අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ පෙනෙන්නට නැත. මෙහිදී අප සඳහන් කර ඇත්තේ අලුත් ව්‍යවස්ථා කෙටුම්පතේ අපට එකඟ විය නොහැකි විධිවිධාන කිහිපයක් පමණක් බව සැලකිය යුතුය.

මේ ව්‍යවස්ථා කෙටුම්පතේ පැහැදිලි රටාවක් පෙනෙන්ට තිබේ. එමඟින්  පාර්ලිමේන්තුවත් මධ්‍යම ආණ්ඩුවත් හැකි තරම් දුර්වල කරනු ලැබේ. පලාත් සභා හැකි තරම් බල සම්පන්න කරනු ලැබේ. ආණ්ඩුකාරවරුන් මහ ඇමතිවරුන්ට යටත්කරනු ලැබේ. සෑම පලාත් සභාවකටම වෙන වෙනම සන්නද්ධ පොලිස් සේවාවන් ඇති කරනු ලැබේ. පලාත් සභා වලට අයත් බලතල මොනවාද, මධ්‍යම ආණ්ඩුවට අයත් බලතල මොනවාද යන්න දැන්මම ප්‍රකාශයට පත් නොකර, පසුව නියම කර ගැනීමට  ඉඩ ඉතුරු කරනු ලැබේ. අවශ්‍ය අවස්ථාවල හදිසි නීතියවත් ප්‍රකාශ කිරීමට බැරි තත්වයක් ඇති කරනු ලැබේ. මේ සියල්ලම කුමණ අරමුණකින් කරනවාද යන්න කාටත් පැහැදිලි විය යුතුය.

අද රට පාලනය කරන එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය ඇතුලු හවුල නීති සම්පාදනය කිරීමේදී දක්වා ඇති වංචා සහගත ප්‍රවේශය නිසා ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය බරපතල ලෙස පලුදු වී ඇත. ඔවුන් ජනතාවත් ශ්‍රේෂ්ඨාධිකරණයත් නොමඟ හැරීම සඳහාම 19 වන සංශෝධනය තුළින් හිස් වගන්ති ව්‍යවස්ථාවට ඇතුළත් කළ ආකාරය කවුරුත් දනී.  සම්පූර්ණයෙන්ම වෙනත් කාරණා සඳහා ඉදිරිපත් කර  තිබුණු පනත් කෙටුම්පත් දෙකකට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී ගෙන එනු ලැබූ සංශෝධන වලින් පලාත් පාලන මැතිවරණ ක්‍රමයත් පලාත් සභා මැතිවරණ ක්‍රමයත් පස්සා දොරින් වෙනස් කළ ආකාරය කවුරුත් දනී. 2016 අගෝස්තු මාසයේදී විවාදයක්වත්, හරිහමන් ඡන්දයක්වත් නොපවත්වා පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක් මැද මේ ආණ්ඩුව අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත සම්මත කරගත්හැටි කවුරුත් දනී.

මේ ආණ්ඩුවේ  කපටිකම් වලට සීමාවක් නැත. ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරිපත් කළ පසු ඔවුන්  කතා කරන්නේ බුද්ධාගමට හිමි තැන ගැනත් ‘ඒකීය’ යන වචනය ගැනත් පමණය. අපට ලබා දී ඇති කෙටුම්පතේ මේ කාරණා දෙකම සම්බන්ධයෙන් විකල්ප වගන්ති යෝජනා කර ඇත. අප මෙතනදී පරීක්‍ෂාකාරී විය යුතුය. බෙදුම්වාදීන්ටයි ෆෙඩරල්වාදීන්ටයි වැදගත් වන්නේ නමවත්, වචනයවත් නොවේ. ඔවුනට අවශ්‍ය දේ ලැබෙනවා නම්, නම කුමක් වුවත් ඔවුනට ප්‍රශ්නයක් නැත. මේ පිරිස සැබවින්ම ඉලක්ක කරගෙන සිටින්නේ ඒකීය කියන වචනයවත් බුදු දහමවත් නොවේය. රටේ ඒකීය භාවය ගැනත් බුදු දහම ගැනත් ඉදිරිපත් කර තිබෙන විකල්ප වගන්ති කේවල් කිරීමේ උපක්‍රමයක් ලෙස ඔවුන් විසින්ම  ඉල්ලා අස් කරගෙන බොරු නම්‍යශීලී බවක් පෙන්වා මේ ව්‍යවස්ථා කෙටුම්පතේ හරය වෙන ෆෙඩරල් පාලන ක්‍රමය දිනා ගැනීමට ඔවුන්  උත්සාහ කිරීමට ඉඩ ඇත.

විශේෂයෙන්ම මහා සංඝරත්නය මේ උප්පරවැට්ටි ගැන අවබෝධයෙන් සිටිය යුතු යැයි මම ගෞරවයෙන් ඉල්ලා සිටිමි. වර්ථමාන ව්‍යවස්ථාවේ බුද්ධාගමට මුල් තැන දී තිබියදීත්, මේ ආණ්ඩුව භික්‍ෂූන් වහන්සේලාව මර්ධනය කළ ආකාරය අපි දුටුවෙමු. මේ නිසා ඒකීය ලේබලය එළෙසම තිබියදී ඔවුන්ට රට ෆෙඩරල් කළ හැක. මේ රටේ දමිළ ජනතාවගෙන් බහුතරය ජීවත් වන්නේ උතුරු නැගෙනහිර පලාත් වලින් පිටය. මුස්ලිම් ජනතාවගෙන් අති බහුතරය ජීවත් වන්නේ නැගෙනහිර පළාතෙන් පිටය. මේ වගේ රටකට අලුත් ව්‍යවස්ථාවක් සෑදිය යුත්තේ ඒ යතාර්ථයත් හිතේ තබාගෙනය.

වර්ථමාන ආණ්ඩුව ගෙනවිත් තිබෙන මේ ව්‍යවස්ථා කෙටුම්පතට විරුද්ධ වීම යනු සියලුම ව්‍යවස්ථා සංශෝධන වලට විරුද්ධ වීම නොවන බවද අපි පැහැදිලිව කිව යුතුය. වර්තමාන ව්‍යවස්ථාවේ පුලුල් වෙනස්කම් සිඳු විය යුතු බව අපි පිළිගනිමු. 19 වෙනි සංශෝධනය නිසා පමණක් මොන තරම් අවුලක් ඇති වී තිබෙනවාද? ඇතැම් දේශපාලන පක්‍ෂවලට තිබෙන බෙදුම්වාදී නැත්නම් ෆෙඩරල්වාදී අදහස් අපි ප්‍රතික්‍ෂේප කරන අතරම ඒ ඒ ප්‍රාදේශීය ජන සමාජයන් වලට යම් කිසි ජාතික රාමුවක් තුළ තමන්ගේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් තිබිය යුතු බවත් අපි පිළිගනිමු. ඊලඟ ජාතික ඡන්දයේදී ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් අපේම යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවෙන් ජනතාවගෙන් වරමක් ලබාගැනීමට අපි බලාපොරොත්තු වෙමු. අපගේ එම උත්සාහයට සහයෝගය දෙන මෙන් මම ජනතාවගෙන් මෙන්ම සියලුම දේශපාලන පක්‍ෂ වලින්ද මේ අවස්ථාවේදී ඉල්ලා සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක

(under the courtesy of lankacnews.com news web)

More News »