වල්ලාපට්ටා ගස් කපමින් සිටි අයෙක් මාට්ටු

2019-01-23 02:34:00       663
feature-top
හලාවත - පනිරෙන්දාව රක්ෂිත වනාන්තරයට අනවසරයෙන් ඇතුළු වී වල්ලාපට්ටා ගස් කපමින් සිටි සැකකරුවෙකුව හලාවත අඩවි වන කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   

ඊයේ(22) සවස මෙම වැටලීම සිදු කර තිබේ.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට කඩා පනින විට වල්ලාපට්ටා ගස් කපමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් ඇත.

එක් සැකකරුවෙකුව වැටලීම කළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරු රඹුක්කන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි.

සැකකරුවන් පනිරෙන්දාව රක්ෂිත වනාන්තරයේ තිබූ වල්ලාපට්ටා ගස් 03 ක් කපා ඇති බව විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කපන ලද වල්ලාපට්ටා ගස් වල කොටස්ද, ගස් කැපීමට යොදා ගන්නා උපකරණ සහ ඔවුන් පැමිණි බව කියන ත්‍රී රෝද රථයක්ද වැටලීම කළ නිලධාරීන් තම බාරයට ගෙන ඇත.

කපා දමා ඇති වල්ලාපට්ටා ගස් වල වටිනාකම රුපියල් ලක්ෂ 35 කට අධික බව වන සංරක්ෂණ නිලධාරීන් කියයි.  

සැකකරු වල්ලාපට්ටා සම්බන්ධයෙන් ඉහළ දැනුමක් ඇති අයෙකු බවත්, ඔවුන් මෙම ජාවාරම කාලයක් සිදු කර ඇති බවට විශ්වාස කළ හැකි බවද වැටලීම කළ නිලධාරීන් සඳහන් කළේය.  
 
සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  

හලාවත අඩවි වන නිලධාරී කේ.ජී.එන්.වසන්ත අබේගුණවර්ධන මහතාගේ උපදෙස් මත බීට්ටු වන නිලධාරී ඩබ්ලිව්.ආර්.පද්මකුමාර, වන ක්ෂේත්‍ර සහකාරවරුන් වන ජයන්ත, සෙනරත් සහ චානුක යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත.


(under the courtesy of adaderana.lk news web)

More News »