අලුත් ව්‍යවස්තාව රටට ගිල්ලවීම එජාප 'හැරවුම් ලක්‍ෂය'ට බාර කරයි..

2019-01-18 05:44:00       591
feature-top
නව ව්‍යවස්ථා යෝජනාවලියක් ඉදිරිපත් වීමත් සමඟ ඇති වී තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, ඒ පිළිබඳ මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් දැනුම්වත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කර තිබේ. පක්‍ෂයක් ලෙස මෙවැනි වැඩපිළිවෙලක් අවශ්‍ය බවට හඩ නගමින් එහි සියළු සංවිධාන කටයුතු සිදු කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර හා එක්සත් ජාතික පක්‍ෂ වෘත්තීය සමිති ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා විසිනි.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ සිටම ජේ.ආර්. ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බවට යෝජනා වෙමින් තිබේ. මෙම තත්ත්වය වසන් කරමින් වර්තමානයේ ඇතැම් දේශපාලන නියෝජිතයින් ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට මත පලකරමින් සිටී. එබැවින් මෙම තත්ත්වය පිළිබඳ මහනාහිමිවරුන් වහන්සේලා දැනුම්වත් කළ යුතු බවට වූ යෝජනාව නිරන්තරයෙන් පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව පාලිත රංගේ බණ්ඩාර මහතා ලිපි ගොනු කිහිපයක්ම පිළියෙල කරන ලදී. එහි පළමුවැන්න වන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරිය සමයේ සිට මේ දක්වා කාලය තුළ ව්‍යවස්ථාව වෙනස් විය යුතු බවට කර ඇති ප‍්‍රකාශ හා නව ව්‍යවස්ථාවක් හදුන්වාදෙන බවට පොරොන්දු ලබාදුන් නායකයින්ගේ ප‍්‍රකාශ ඇතුලත් ලිපිගොනුවයි.

තවත් ලිපි ගොනු කිහපයක් මේ සඳහා යොදා ගෙන තිබේ. සියල්ල සකස් කිරීමෙන් අනතුරුව පාලිත රංගේ බණ්ඩාර මහතා කණ්ඩායමකට කතා කළේය. ඒ අනුව ලක්‍ෂ්මන් කිරිඇල්ල, දයා ගමගේ, ලකී ජයවර්ධන ඇතුළු කණ්ඩායමක් මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් මුණ ගැසීමට මහනුවර බලා පිටත් වූහ.

නව ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර ඇති බවට විරුද්ධ පාර්ශව විසින් කරන ප‍්‍රකාශ මුළුමනින්ම අසත්‍ය බව උන්වහන්සේලාට පැහැදිලි කර දීම මෙම හමුවේ මූලික අරමුණයි. එමෙන්ම මේ වන විට ඉදිරිපත්ව තිබෙන්නේ ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මිස, අවසන් ලියවිල්ලක් නොවන බව පැහැදිලි කර දීමට පියවර ගන්නා බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

මේ අතර අද දිනයේ දී තවත් කරුණු ගණනාවක් පිළීබඳ මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් දැනුම්වත් කිරීමට නියමිතයි.
(under the courtesy of lankacnews.com news web)

More News »