ගෝඨා සුදානම්-මමත් සුදානම්

2019-01-18 05:43:00       671
feature-top
පරණ ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මේ වන විට කළ යුතුව ඇත්තේ ඒ සම්බන්ධයෙන් සම්මත කර ගෙන එන ලද කැබිනට් පත්‍රිකාව පාර්ලිමේන්තුවට නීතියක් ලෙස ගෙන ඒම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ අනුව අප්‍රේල් හෝ මැයි වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාව ඇති බව ද අද(18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

අද වන විට පළාත් සභා මැතිවරණය වසර 4 කට වඩා වැඩි කාලයක් පුරා ප්‍රමාද වී ඇති බවත් ඒ ගැන මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කර අතර, පසුගිය දින 50 ක් පුරා පැවති ආණ්ඩුව තුළදී ජනපති ප්‍රධානත්වයෙන් කැබිනට් පත්‍රිකාවක් අනුමත කළ බවද ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

ඒ අනුව සියයට 25 ක කාන්තා නියෝජනයට, පරණ ක්‍රමයට අනුව සංශෝධනයක් ගෙන එන ලෙස ද එහිදී යෝජනාවකට පැමිණි බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.

නමුත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අද වන විට මතය වී ඇත්තේ, මේ සම්බන්ධයෙන් නැවතත් නව කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම වන බව ද දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.

මේ හේතුවෙන් තවත් මාස කිහිපයක් මැතිවරණ කල් යන බවත්, මෙය ඉතා පැහැදිලි ලෙසම ආණ්ඩුවේ ක්‍රියාදාමයක් බව අනාවරණය වන බව ද කියා සිටි දයාසිරි ජයසේකර මහතා, 2018 නොවැම්බර් මස 13 වන දින නිකුත් කළ කැබිනට් පත්‍රිකාව වහාම පාර්ලිමේන්තුවට ගෙන එන ලෙසත් එයට සියයට 100ක් සහයෝගය ලබා දීමට සුදානම් බවත් පැවසීය.

එම කැබිනට් පත්‍රිකාව ගෙන ඒම තුළින් පැහැදිලි ලෙසම මැතිවරණය පැවැත් විය හැකි බව ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

ඒ සියල්ල පැත්තකින් තබා අද වන විට ජනාධිපතිවරණයක් පිළිබඳව අවධානය යොමු වී ඇති බව ද පැවසු මන්ත්‍රීවරයා 2019 අගභාගයේ පැවැත් වීමට නියමිත ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ අද වන විට සොයමින් සිටින බවත් වසර කට වඩා පරක්කු වී තිබෙන පළාත් සභා මැතිවරණය පැවැත් වීම ආණ්ඩුව මඟ හරිමින් තිබෙන බව ද කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය සමඟ එක්ව ඇති ආණ්ඩුව පළාත් සභා මැතිවරණයට දක්වන බිය එයින් පෙනී යන බව ද පැවසීය.

කෙසේ වෙතත් මාධ්‍යවේදියෙක් විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට සුදානම් යැයි පැවසීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව සුදානම් නම් සුදානම් බව පැවසූ අතර, තමා ද ජනාධිපතිට වැඩ කිරීමට සුදානම් බවයි.

ජනාධිපති අපේක්ෂකයින් පිළිබඳව කලබල නොවිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයට සේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ප්‍රශ්නයක් පවතින බවත් ඔහු පැවසීය.


(under the courtesy of adaderana.lk news web)

More News »