හෙරොයින් සන්තකයේ තබා ගත් කතකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

2019-01-18 04:28:00       592
feature-top
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 2.78  ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු සිව් දරු විවාහක කාන්තාවකට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් මෙසේ දඬුවම් නියම කරනු ලැබීය.

මෙසේ දඬුවම් නියම වූයේ බොරැල්ල සර්පන්ටයින් පාරේ පදිංචි විදානපතිරණගේ ජයමිණි නැමති 54 හැවිරිදි කාන්තාවකටය.

2015 මැයි මස 26 වනදා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් සිදු කළ වැටලීමකදී මෙම විත්තිකාරිය කොළඹ බේස්ලයින් පාරේදී අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන්පසුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා ඇයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.    

දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා නියෝග කර සිටියේ විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි.

ඒ අනුව විත්තිකාරිය අදාල චෝදනාවලට වරදකාරිය කරන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා ඒ අනුව ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බව ද නියෝග කළේය.


(under the courtesy of adaderana.lk news web)

More News »