සමූහ මිනී වලෙන් තවත් එකට බැඳී තිබෙන අස්ථි කොටස් මතු වෙයි - අස්ථි මතුවීමේ දී රටාවකුත් හඳුනා ගනී

2018-12-12 09:51:00       768
feature-top
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනි වල තුළින් මතුවු මිනිස් අස්ථි කොටස් දෙකක් එකිනෙකට කිසියම් දෙයකින් එක්ව සිටින ආකාරයට බැඳ තිබෙන ආකාරයේ අස්ථි කොටස් කැබලි තුනක්  ඊයේ (11) දහවල් දක්වා කැනීම් තුළින් හමුවී ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී සමින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු පැවසූවේ එලෙස හමුවු අස්ථි කොටස මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ අවධානය පිණිස යොමුකොට ඇති අතර, අදාළ අස්ථි කොටස් දෙක කිසියම් ලෝහයකින් හෝ වෙනත් දෙයකින් හෝ ගැටගසා ඇත්ද? එලෙස නොවන්නේ නම් අදාළ අස්ථි කොටස්වල පැළදි වෙනත් ආභරණයක්ද?, නැතිනම් සිමෙන්ති බැදීමක්ද? යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවයි.

එලෙස සොයාගත් අස්ථි කොටස් එක්ස්රේ කිරණ පරීක්ෂාවන් වෙනුවෙන් මූලිකව යොමු කිරීමට නියමිත බවද හෙතෙම පැවසුවා.

මේ වන විට සොයාගත් අස්ථි කොටස්වලින් මිනිස් සිරුරු 276 කට අදාළ අස්ථි කොටස් ඊයේ වන විට ක්‍රමානුකූලව මතුකර ගැනීමට හැකිවි ඇති අතර, ඉන් සිරුරු 269 කට අදාළ කොටස් කැනීම් මගින් ඉවත් කර ගැනීමට හැකිවී තිබෙනවා.

මතුවු අස්ථි කොටස් අතර ළමුන් 21 දෙනෙකුගේ  යැයි සැක කරන කුඩා ප්‍රමාණයේ අස්ථි කොටස් හමුවී කැනීම් මගින් ඉවත් කරගෙන ඇති බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා පැවසුවා.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා.

සමූහ මිනි වල තුළින් එකමත එක දැමු අපිළිවෙළ අස්ථි කොටස් හමුවී ඇති අතර, තවත් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත් අදාළ අස්ථි කොටස් තුළින් මරණයන්ට හේතුව සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිතව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවද මෙහෙයුම් නිලධාරීන් පෙන්වා දෙනවා.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.සරවනරාජාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ, මන්නාරම පොලිස් නිළධාරීන්, මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන් අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වනවා.

ස්ථර තුනකට අදාළව අස්ථි කොටස් ‍තැන්පත් කොට තිබෙන අතර පළමු ස්ථරයේ අස්ථි හමුවීමෙන් අනතුරුව වැලි මිශ්‍ර  පස් තට්ටුවක් යොදා නැවත දෙවන ස්ථරයේ අස්ථි කොටස් පවතින බවත්, දෙවන ස්ථරය මතින් වැලි මිශ්‍ර පස් යොදා තෙවැනි ස්ථරය මත අස්ථි කොටස් පවතින බවට මූලිකව තහවුරු වන බවද වර්තමාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේව පෙන්වා දෙනවා.

 
(under the courtesy of nethnews.lk news web)

More News »