මගේ වැඩපිලිවෙල ගැන ලාංකිකයන් අසීමිත සෙනෙහසින්.. ආශිර්වාදයෙන්.බහුතරය නැති උන් මඩ ගහනවා- කතානායකගෙන් නිවේදනයක්

2018-11-21 05:18:00       735
feature-top
කථානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප්‍රවෘත්ති නිවේදනයයි

පාර්ලිමේන්තුවේ මෑතකදී ඇතිවූ කඩාකප්පල්කාරී ක්‍රියාදාමයන්ට නිර්භයව මුහුණදෙමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම ‍උදෙසා කළ කැපවීම පිළිබඳව සර්ව ආගමික නායකයන් ඇතුළු දේශීය හා විදේශීය ශ්‍රී ලාංකිකයන් ලබා දුන් ආශිර්වාදය සහ තමා වෙත දැක්වූ අසීමිත සෙනෙහස පිළිබඳ කථානායකවරයා හෘදයාංගම කෘතඥතාව පළ කර සිටී.

මේ අතරම, පාර්ලිමේන්තුව තුළ තමන්ට හිමි බහුතරය නියමාකාරයෙන් පෙන්වා දීමට අසමත් වූ දේශපාලන පක්ෂ විසින් කථානායකවරයා ඉලක්ක කොට නිතිපතා ප්‍රවෘත්ති සාකච්ඡා මගින් සහ සිය පක්ෂ සාමාජිකයන් ලවා සංවිධානය කරන ‍ දේශපාලන උද්ඝෝෂණ මගින් එල්ල කරනු ලබන පදනම් විරහිත චෝදනාවන්ද නිරීක්ෂණය කළ හැකිව තිබේ.

225 ක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දේශපාලන පක්ෂ හා කන්ඩායම් 4 ක් නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 122දෙනෙක් ලිඛිතව වර්තමාන පාලනයට අභියෝග කර ඇති බැවින්, කථානායක වශයෙන් පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව බහුතර මතයට කන් දීම පැහැර හැරිය නොහැකි වගකීමක් වේ.

එසේ හෙයින්, කථානායකවරයාගේ ස්ථාවරය පක්ෂග්‍රාහී වීමක් ලෙස හඳුන්වමින් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සිදු කරන පහත් මට්ටමේ පරිභව කිරීම් සහ විරෝධතා තවදුරටත් නිෂ්ඵල වනු ඇත.

පාර්ලිමේන්තුව තුළ බහුතර මන්ත්‍රි පිරිසකගේ සහාය වර්තමාන පාලනයට ඇති බව පැහැදිලි ලෙස ඔප්පු කිරීම උද්ඝෝෂණ සහ විරෝධතාවලට වඩා ඵලදායක වනු ඇත.

ඉදිරියේදීද, කොතරම් අපහාස, විරෝධතා හා ජීවිත තර්ජන පැමිණියද මාතෘභූමියේ ප්‍රජාතන්ත්‍රවාදය රැකදීමටත්, අනාගත හා නූපන් පරපුරට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රටක ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමටත් දිවි හිමියෙන් කැපවන බැව් ගරු කථානායකතුමන් අවධාරණය කර සිටී.

– කථානායක මාධ්‍ය අංශය
(under the courtesy of lankacnews.com news web)

More News »