ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ජීවිත කැප කරන්න සුදානම්

2018-11-15 04:48:00       698
feature-top
ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා ජීවිතය වුවද කැප කිරීමට සුදානම් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

යුක්තියේ ජන හඬ ජයග්‍රහණයේ ජන රැළිය මේ වන විට ලිප්ටන් වටරවුමේ දී ආරම්භ වී තිබේ.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

සමහරු යහපාලන කාලය තුළ මහ ලොකු වෙනසක් සිදුව නොමැති බව පැවසූ නමුත් පසුගිය දා අධිකරණය විසින් ලබා දුන් තීන්දුව තුළ අධිකරණයේ ඇති සුපිරිම ස්වාධීනත්වය මනාව තහවුරු වූ බව ද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් ගොඩනැඟීමට කථානායකවරයා ගන්නා උත්සහයට සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී ස්තූති කර සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදය හා ඒකාධිපතීත්වය අතර වෙනස දැන ගැනීමට කිසිවෙකුත් ජනතාවට එය පෙන්වා දිය යුතු නොවන බව ද මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

පාර්ලිමේන්තුව තුළ ඡන්දවලට බියෙන් සිටින්නේ ජනවරමක් නොලැබුණ හොර පාරොන් අගමැතිකම හා රාජ්‍ය බලය ලැබු අය බවත් සඳහන් කළ සජිත් ප්‍රේමදාස මහතා, අද දිනය තුළ පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමට බියෙන් වනචාරීන්ටත් අන්ත ලෙස හැසිරුණ බව ද කියා සිටියේය.

අද වන විට සමහරු රාජ්‍ය දේපල හා ප්‍රජාත්නත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කරමින් සිටින බවත්, එක්සත් ජාතික පක්ෂය උණ්ඩවලට, කඩුවලට හෝ සියදිවි නසා ගන්නා බෝම්බකරුවන්ට  බිය නොවන බව ද පැවසීය.

කෙසේ හෝ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරන බවත්, හැකි නම් හෙට(16)දිනයේ දී පාර්ලිමේන්තුවේ ඡන්දයකට මුහුණ දී පෙන්වන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන්ට අභියෝග කරන බව ද තරයේ කියා සිටියේය.


(under the courtesy of adaderana.lk news web)

More News »