ගැබිනි බිරිය මාතෘ සායනයට යොමු කර වාට්‌ටුවේ වෛද්‍යවරියකගේ 95,000ක ඇපල් ෆෝන් එක උස්‌සලා

2018-11-09 11:25:00       567
feature-top
ගැබිනි බිරිය මාතෘ සායනය වෙත යොමු කොට සොරකමේ ගිය සැමියකු ගම්පොල ශික්‌ෂණ රෝහලේ 10 වාට්‌ටුවේ වෛද්‍යවරියකගේ රුපියල් 95000 ක්‌ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්‌ සොරා ගැනීමට දඬුවම් දෙමින් ගම්පොල දිසා විනිසුරු චාන්දනී මීගොඩ මහත්මිය එම සැකකරුට වසරක සිරදඬුවමක්‌ හා පැමිණිලිකාර වෛද්‍යවරියට රුපියල් 20,000 ක වන්දියක්‌ ගෙවන ලෙස නියෝග කළාය.
 
 සිරි නුවන් ශ්‍රී අත්තනායක නමැති මොහු කුලියාපිටිය වැවගම පදිංචිකරුවකු වන අතර ගම්පොල දුනුකේඋල්ල ප්‍රදේශයෙන් විවාහ වී සිටින බව පරීක්‌ෂණ පැවැත්වූ ගම්පොල පොලිසිය අධිකරණය වෙත වාර්තා කොට තිබිණි.
 
 ජංගම දුරකථනයෙන් වටිනාකම රුපියල් අනූදහසක්‌ වුවත් මෙම පුද්ගලයා එය දුනුකේඋල්ල ප්‍රදේශයේ අයකුට විකුණා ඇත්තේ රුපියල් පන්සියකට බව අනාවරණය වී ඇත.
 
 ගැබිනි බිරිය ගම්පොල රෝහලේ මාතෘ සායනය වෙත රැගෙන ගොස්‌ ඇය සායනයට යොමු කර මෙම පුද්ගලයා රෝහලේ වාට්‌ටු ගානේ ගොස්‌ යම් යම් දේ සොරා ගැනීමට උත්සාහ දරා ඇති අතර 10 වාට්‌ටුවට යන විට වෛද්‍යවරියගේ මේසේ උඩ ජංගම දුරකථනය ඇති බව දැක ඇත. ඒ අනුව රෝගීන් පරීක්‌ෂාවට යොමුව සිටි වෛද්‍යවරියගේ ජංගම දුරකථනය සොරා ගෙන ඇති මොහු එය ගම්පොල වෙළෙඳසල් කීපයකට අලෙවි කිරීමට උත්සාහ දරා ඇත.
 
 කිසිත් නොදත් වෛද්‍යවරිය ජංගම දුරකථනය වාට්‌ටුවේ තිබියදී සොරාගෙන ගොස්‌ ඇති බව ගම්පොල පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.
 
 ගම්පොල පොලිසියේ අපරාධ අංශ නිලධාරීන් නගරයේ සී. සී. ටී. වී. කැමරා දර්ශන නරඹා සැක සිතූ මොහුගේ ඡායාරූප ලබා ගෙන පරීක්‌ෂා කිරීමේදී දුනුකේඋල්ල බිරිඳගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
(under the courtesy of hirunews.lk news web)

More News »