කසළ ගෙන ඒමට ඇති ඉඩ මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වයි

2018-08-20 02:15:00       674
feature-top
සිංගප්පූරුවේ කසල මෙරටට ගෙන ඒමට කිසිඳු ඉඩක් නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. ඒ, ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය ඊයේ (19) සිදු කළ ප‍්‍රකාශය පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින්.

එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ සිංගප්පූරු - ශී‍්‍ර ලංකා ගිවිසුම යටතේ එරට කසල මෙරටට පැමිණීම කිසිවෙකුටත් නතර කළ නොහැකි බවයි.



මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් නෙත් නිවුස් විමසීමක් කළා.  එහි අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්න සඳහන් කළේ ලංකාව තුළට අපද්‍රව්‍ය ගෙන ඒමේ ප්‍රතිපාදන නොමැති බවයි. කෙසේවෙතත් ලෝකයේ කෙනෙකුට අපද්‍රව්‍යක් වෙච්ච සෑම ද්‍රව්‍යයක්ම තවත් කෙනෙකුට තවත් කර්මාන්තයක අමුද්‍රව්‍යක් ලෙස සැළකෙන බවද සඳහන් කළා.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආචාර්ය බන්දුල ගුණවර්ධන පෙන්වා දුන්නේ වෙනත් ගිවිසුම්වල නොමැති වරප‍්‍රසාද සිංගප්පූරු ගිවිසුමට ඇතුළත්ව ඇති බැවින් කසල පැමිණීම නතර කළ නොහැකි බවයි. 

රටවල් දෙකක් අතර අත්සන් කරන ගිවිසුමක කොන්දේසිවලට අනුව රටට කසල ගෙන ආ හැකිදැයි මධ්‍යම පරිසර අධිකාරියේ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු උපාලි ඉන්ද්‍රරත්නගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහිදී සඳහන් කෙරුණේ අදාළ අපද්‍රව්‍ය සඳහා කර්මාන්තයක් පැවතෙන්නේ නම් සහ තවත් කරුණු රැසක් මත අනුමැතිය ලබාදෙන අවස්ථා ඇති බවයි.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම ඉකුත්දා ප‍්‍රකාශ කළේ මැයි මස පළමු වැනිදා සිට සිංගප්පූරු - ශ‍්‍රී ලංකා ගිවිසුම ක‍්‍රියාත්මක වන බවයි. 

(under the courtesy of nethnews.lk news web)

More News »