වහලයේ සිටින කාන්තා රැඳවියන්ට පිටත සිට විසි කළ පාර්සල් 17ක් සොයා ගැනේ

2018-08-14 12:50:00       629
feature-top
වහලයෙන් බැස පැමිණියහොත් වැලිකඩ බන්ධනාගාරයේ උද්ඝෝෂණවල යෙදී සිටින කාන්තා රැඳවූවන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් මංගලිකා අධිකාරී පැවසුවේ එම සාකච්ඡා සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වැලිකඩ බන්ධනාගාරය වෙත පිටත් කර හරින බවයි.

මීට අමතරව රැඳවූවන් පිරිසක් උද්ඝෝෂණ සඳහා බන්ධනාගාරයේ වහලය මතට නැග ගත්තේ කෙසේදැයි ද විමර්ශනයක් සිදු කිරීමට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන්ගෙන්ද ඒ සඳහා ප‍්‍රකාශ ලබා ගනු ඇති.

උද්ඝෝෂණවල යෙදී සිටින කාන්තා රැඳවූවන් සිටින ප‍්‍රදේශයට බන්ධනාගාරයෙන් පිටත සිට පාර්සල විසි කර ඇතැයිද  තොරතුරු ලැබුණා. ඊයේ (13) දිනයේ පමණක් එවැනි පාර්සල 17ක් සොයා ගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි කියා සිටියේ. එම ඇතැම් පාර්සලවල ආහාර වර්ග අඩංගු වී තිබී ඇති අතර මත්ද්‍රව්‍යයද ඒවායේ සඟවා තිබී ඇත්දැයි විමර්ශන ආරම්භ කර තිබෙනවා.

තවදුරටත් පිටතින් මෙලෙස පාර්සල විසි කිරීම වළක්වාලීම සඳහා අදාළ පරිශ‍්‍රය වටා බන්ධනාගාර නිලධාරීන් යොදවා සිටින බවයි කළ සොයා බැලීමේදී වැඩිදුරටත් දැන ගන්නට ලැබුණේ. 

කාන්තා රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයේ වහලය මත නැගී මෙලෙස උද්ඝෝෂණයේ යෙදී සිටින්නේ නඩු කටයුතු කඩිනම් කර තමන්ට ඇප ලබා දෙන්නැයි ද බන්ධනාගාර තුළ පහසුකම් වැඩි කරන්නැයිද ඉල්ලා සිටිමින්.

පිටතින් ආහාර ගෙන ඒම සීමා කිරීමට විරෝධය පළ කිරීමද උද්ඝෝෂණයේ අපේක්ෂාවක් වනවා. මෙම උද්ඝෝෂණය ආරම්භ කෙරුණේ ඊයේ (13) පෙරවරුවේයි. කාන්තා රැඳවූවන් කොටස් වශයෙන් මාරුවෙන් මාරුවට වහලය මත නැග උද්ඝෝෂණයේ යෙදී සිටිනවා.

මෙලෙස උද්ඝෝෂණයේ යෙදී සිටින කාන්තා රැඳවූවන් මත්ද්‍රව්‍යයද භාවිත කර සිටි බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ. ඇතැම් රැඳවූවන් උද්ඝෝෂණයට සහය දක්වන්නේ නැහැ. සහය නොදක්වන රැඳවූවන් සහ උද්ඝෝෂණයේ යෙදී සිටින රැඳවූවන් අතර ඊයේ පස්වරුවේ ගැටුමක්ද ඇතිවුණා.

(under the courtesy of nethnews.lk news web)

More News »