වාහනයක් ආනයනය කර දෙන බවට පොරොන්දු දීලා -නිළියගේ ලක්ෂ දහයකට විදපු අධ්‍යක්ෂවරයා කොටුවෙයි

2018-08-14 10:36:00       548
feature-top
ජපානයේ නිෂ්පාදිත සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයනය කරදෙන බව පවසා ජනප්‍රිය සිනමා හා ටෙලිනාට්‍ය නිළි ඇන්ඩලීන් රෝෂානාගෙන් රුපියල් ලක්ෂ දහයක් වංචා සහගතව ලබාගෙන සිටි සිනමා අධ්‍යක්‍ෂවරයෙකු ඊයේ (13)  අත්අඩංගුවට ගත්බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසනවා.

අදාළ රංගන ශිල්පිනිය පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණ තමන්ට ජපානයෙන් වාහනයක් ආනයනය කරදෙන බව පවසමින් රුපියල් ලක්ෂ දහයක මුදලක් එම අධ්‍යක්ෂකවරයා තමන්ගෙන් ලබාගත් බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ වෙනුවෙන් කිසිදු සාධාරණයක් සිදු නොවූ බවටත් බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබුණා.

ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ලැබුණු නියෝගයකට අනුව කි‍්‍රයාත්මක වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලින් තහවුරු කරගත් තොරතුරු ඔස්සේ කොහුවල පිහිටි අධ්‍යක්‍ෂවරයාගේ කාර්යාලයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබුනා.

මෙම අධ්‍යක්ෂකවරයා විසින් මාස තුනක කාලයක් ඇතුලත  සුඛෝපභෝගී මෝටර් රථය ලබා දෙන බව  ප්‍රකාශ කර මෙම මුදල් ලබාගෙන ඇති අතර එම මෝටර් රථය ලබාදෙන තෙක් පාවිච්චි කිරීම සඳහා පැරණි මෝටර් රථයක්ද ලබාදී ඇති බවයි ඇය පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ. එසේම මාස හතරක පමණ කාලයක් ගතවුවත් ඇයට ලබා දෙන බව පැවැසූ මෝටර් රිය නොලැබුණ බවත්, අධ්‍යක්‍ෂවරයා විසින් ලබාදී තිබූ කාර් රථයද  බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ කළ බවත් ඇය ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වනවා. එසේම  2017 පෙබරවාරි මස 17 වනදා  අධ්‍යක්‍ෂවරයාගේ මිතුරෙක් පැමිණ ලබාදී තිබෙන කාර් රථය ඔහුගේ එකක් යැයි පවසමින් නැවත රැගෙන ගිය බවද රංගන ශිල්පිනිය විසින් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර තමන්ගෙන් ලබාගත් රුපියල් ලක්ෂ දහය බොරැල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවකින් ලබාගන්නා ලෙස  2017 ජුනි 22 දින චෙක්පතක් ලබා දී ඇති අතර එම චෙක්පතද අගරු චෙක්පතක් බවයි ඇය ප්‍රකාශ කර තිබුනේ.

බස්නාහිර දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික‍්‍රමසිංහ, පොලිස් අධිකාරී ප‍්‍රසාද් රණසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

(under the courtesy of nethgossip.lk news web)

More News »