වස දමා මහා පරිමාණයෙන් සත්තු මරලා - හෝටල්වලට  මස් විකිණු අමනයන් ඇල්ලූ මෙහෙයුම!

2018-08-11 12:27:00       552
feature-top
සංචාරක හෝටල් සදහා දඩමස් අලෙවි කරනා පිරිසක් විසින් සිදු කළ අමානුෂීය ක්‍රියාවක් පිළිබදව නෙත් ගොසිප් වෙත වාර්තා වේ. 

පොළොන්නරුවේ සෝමාවතිය ජාතික වනෝද්‍යානය තුළ සතුන්ට වසදී මරා මස් තොග වශයෙන් සංචාරක නිකේතනවලට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පසුගියදා නීතියේ රැහැනට කොටු විය.

දඩමස් ජාවාරම හබරණ, මින්නේරිය වැනි ප්‍රදේශවල මින්පෙරද සිදුවිය.. බඳින තුවක්කු හෝ පතරොම් තුවක්කු මඟින් සතුන් දඩයම් කිරීම සිදුවේ. නමුත් වන සතුන් පවස නිවා ගන්නා දිය කඩිතිවලට උග්‍ර වස මිශ්‍ර කර සතුන් සිය ගණනක් එක රොත්තට මරා දැමීමක් පිළිබදව මින්පෙර වාර්තා නොවිය.

පොළොන්නරුව ප්‍රදේශය මේ දිනවල දැඩි නියඟයකට ගොදුරු වී තිබේ. මාස තුනකට අධික කාලයක් වර්ෂාව නොලැබීම නිසා වනයේ තැන් තැන්වල ඇති දිය කඩිති බොහොමයක් සිඳී ගොසිනි. දිය කඩිති පමණක් නොව ඇතැම් වැව්ද වියළී ගොසිනි. ජලය ස්වල්පයක් හෝ ඉතිරිව ඇත්තේ වැව් මධ්‍යයෙහි පිහිටි වළවල්වල පමණය. තණ පිටිද වියළී දැඩි ආහාර හිඟයකට මුහුණ දී සිටින ගෝනුන්, මුවන්, හාවුන්, මීමින්නන්, ඕලු මුවන් ආදී සතුන් පවසට දිය බිඳක් සොයමින් තැන තැන ඇවිදින්නේ කෙසේ හෝ පන නළ රැකගැනීමේ අටියෙනි.

වෙඩි තබා සතුන් මරා අලෙවි කළ ජාවාරම්කරුවන් කල්පනා කොට ඇත්තේ දිය කඩිතිවලට වස මුසු කිරීමෙන් ඉතා පහසුවෙන් සතුන් විශාල සංඛ්‍යාවක් එකවර මරා ගැනීමට ඇති හැකියාව ගැන පමණි.

පොළොන්නරුව කලාපය භාර වනජීවී අඩවි නිලධාරින්ට ඔත්තුවක් ලැබි තිබුණි. ඒ සෝමාවතිය වනෝද්‍යානය තුළ පිහිටි සත්පත්තිනි නමින් හැඳින්වෙන වැව අවට තැන් තැන්වල මියගිය සතුන්ගේ සිරුරු විශාල සංඛ්‍යාවක් දක්නට ඇති බවයි.

මෙහිදි නිළධාරීන් සෝමාවතියේ සත්පත්තිනි වැව අවට ප්‍රදේශයෙහි සෝදිසි මෙහෙයුමක් දියත් කළහ.

වැවට කිලෝමීටරයක් පමණ ආසන්න වෙද්දීම ප්‍රදේශය පුරා ඉවසිය නොහැකි දැඩි දුර්ගන්ධයක් පැතිරී යමින් තිබූ බව මෙහෙයුමට සම්බන්ධ වූ නිලධාරීහු සඳහන් කරති. තවත් ඉදිරියට යද්දී ඔවුනට දැකගත හැකිවූයේ මහ පොළොව නුහුලන අපරාධයකි. දුටු දුටු තැන ගෝනුන්, මුවන්, හාවුන්, මීමින්නන්, ඉත්තෑවුන් ආදී සතුන්ගේ බාගෙට කුණු වී ගිය මළ සිරුරුය. එහි කුඩාම පැටවුන්ගේ සිරුරු පවා තිබිණි.

ගස්වල එල්ලා සතුන් මස් කර තිබූ තැන්වල උන්ගේ අං, පාදවල කොටස්, සම් සහ ඇටකටු ගොඩවල්ය. 

සිඳී ගිය සත්පත්තිනි වැව මැද පිහිටි වතුර වළවල් කිහිපයකට වස දැමීම නිසා ඉන් දිය පානය කළ පැටවුන්ද ඇතුළු ලොකු කුඩා සියලුම සතුන් මෙන්ම මසුන්ද මියගොස් ඇත. වැවේ සිටි දැවැන්ත හැල කිඹුලකුවද අල්ලා මරා මස් කිරීමෙන් අනතුරුව සිරුරේ සුන්බුන් කොටස් පුලුස්සා තිබියදී හමුවූ බව නිලධාරීහු පවසති. මැරුණු සියලු සතුන් මස් කර රැගෙන යෑමට නොහැකි බැවින් කොටසක් ගෙන ගොස් තවත් කොටසකගේ සිරුරු හැර දමා ගොස් තිබූ අතර දුගඳ හමමින් තිබුණේ ඉතිරි කර දමා ගොස් තිබූ මළ සිරුරුවලිනි.

ඊළඟට සිදුවූයේ ලැබෙමින් තිබූ තොරතුරුවලට අනුව යමින් අපරාධකරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමේ මෙහෙයුම ආරම්භ කිරීමයි.

වනජීවී නිලධාරි කණ්ඩායම් තුනක් දින දෙකක් පුරා සිදු කළ මෙහෙයුමේ ප්‍රතිඵලය වූයේ ජලයට වස මිශ්‍ර කර සතුන් මරන ලද අයගෙන් කෙනකු පොළොන්නරුවෙන්ද, තවත් තිදෙනකු මැදිරිගිරිය ප්‍රදේශයෙන්ද අත්අඩංගුවට ගැනීමට හැකි වීමයි. සැකකරුවන් සිවුදෙනාම හිඟුරක්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප ලබා දී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් අනාවරණය වූ පරිදි ඔවුන් වස ශරීරගත වීම නිසා ඒ වනතුරුත් නොමැරී පණ අදිමින් සතුන්ම පවා අමු අමුවේම හම ගසා මස් කොට තිබේ.

මෙම දඩමස් මස් ආහාරයට ගන්නා පුද්ගලයන්ටද ජිවීත අවදානමක් මතුව තිබේ. සාමාන්‍ය වශයෙන් විස ශරීරගත වූ සතකුගේ මස් කෑමට ගැනීමෙන් පවා වකුගඩු අකර්මණ්‍ය සහ පිළිකා වැනි රෝග තත්ත්වයන්ට ගොදුරු විය හැකි බව වෛද්‍ය මතයයි.

(under the courtesy of nethgossip.lk news web)

More News »