යුධ හමුදා මේජර්වරයෙක්ට හා සැරයන්වරයෙක්ට මරණ දඬුවම

2018-08-09 08:49:00       739
feature-top
යාපනය තිරිනල්වේලි  ප්‍රදේශයේදි  පුද්ගලයෙකු රැගෙන ගොස්  ඝාතනය කිරිමේ  චෝදනාවට වරදකරු වු 51වැනි සේනාංකයට අයත්  512 බල සේනාවේ  සේවයේ නියුතු යුධ හමුදා මේජර්වරයෙකුට හා සැරයන්වරයෙකුට අද (08) මරණ දඩුවම නියම කල ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් චෝදනා ලැබ සිටි තවත් යුධ හමුදා කර්නල්වරයෙකු නිදොස් කොට නිදහස් කරන ලදියි.

යාපනය, වට්ටවාන් ප්‍රදේශයේ පදිංචි ඥානසිංහම් ඇන්ටන්  ගුණසිංහම්  නැමැති අය ත්‍රස්තවාදියෙක් යැයි  සැකපිට  රැගෙන ගොස් 1998 වර්ෂයේ සැප්තැම්බර් 10 දින හෝ ඊට ආසන්න දිනයකදි  මරණය සිදුකිරිමට එරෙහිව කෝපායි පොලිසිය චුදිතයන්ට  එරෙහිව චෝදනා ගොනුකර තිබුනා. 

එවකට පැවැති වාතාවරණය මත චුදිතයන් කල අභියාචනයක් අනුව මෙම නඩුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කර නීතිපති ගොනු කල අධි චෝදනා මත නැවත මෙම නඩුව යාපනය මහාධිකරණය වෙත යොමුකර තිබුනා. චුදිතයන් විසින් මෙම නඩුව වෙනත් මහාධිකරණයකදි විභාග කරණ ලෙස කල ඉල්ලිමකට අනුව මෙම නඩුව ත්‍රිකුණාමලය මහාධිකරණයේ විභාග කිරීමට තීරණය කරන ලදියි.

දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය අනුව මිනිමැරිම යන චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු කල බව විවෘත අධිකරණයේදි ප්‍රකාශ කල මහාධිකරණ විනිසුරුවරයා සැකකරුවන්ට එරෙහිව මරණ දණ්ඩනය නියම කළා. 

එවකට මියගිය අය ගොඩනැගිල්ලක ඉහල මාලයේ සිට පැන දිවි නසා ගත් බව  ප්‍රකාශ වුවද මියගිය අයගේ  සිරුරේ පහරදිමෙන් ලද තුවාල දක්නට තිබුණු බව වෛද්‍ය වාර්තාවේ සදහන් වි ඇති බවට කෝපායි පොලිසිය මීට පෙර ප්‍රකාශ කර තිබුනා.

මෙසේ මරණ දඩුවම නියම වුයේ 512 බලසේනාවේ මේජර් ඩික්මන් රාජමන්ත්‍රි හා සැරයන් ප්‍රියන්ත රාජකරුණා  නැමැති අයටයි. යුධ හමුදා කර්නල් රොනි බර්තලොව්ස් නැමැති අය නිදොස් කොට නිදහස් කරන ලදියි.

(under the courtesy of nethnews.lk news web)

More News »