මැතිවුස් නැවතත් අසාර්ථක වෙද්දි ධණංජය වගකීම කරට ගනියි - ටෙස්ට් තරගයේ පළමු දිනයෙන්ම වාර්තාවක්!

2018-07-21 02:16:00       655
feature-top
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය අවසන් වද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 277ක් රැස් කරගෙන සිටියේය. 

ලකුණු 300 කරා යාම ඉලක්කය කරගත් රංගන හේරත් සහ අකිල ධනංජය දෙදෙනා අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 13 ක් එක් කරමින් නොදැවී කඩුල්ලේ රැඳි සිටියි. ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු යුවළ ශතක සබදතාවයක් පැවැත්වුවද මැද පෙල ක්‍රීඩකයන්ගේ දුර්වල පිතිකරණය ඉනිම බිද වැටීමට ප්‍රධාන සාධකය විය.

එහිදි ධණුෂ්ක ගුණතිලක ලකුණු 57ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 53ක් රැස් කළේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වෙමින් කණ්ඩායමේ වගකීම නැවතත් සිය දෙවුරට ලබා ගත් ධණංජය ද සිල්වා ලකුණු 60ක් රැස් කළේය.

දිගින් දිගටම අසාර්ථක වූ හිටපු නායක ආන්ජලො මැතිවුස් මෙම ඉනිමේද රැස් කළේ ලකුණු 10ක් පමණි. පන්දු යැවීමද නවතා පිතිකරනයෙන් පමණක්  කණ්ඩායමේ රැදි සිටින මැතිවුස් මෙලෙසින් අසාර්ථක වීම කණ්ඩායමේ සමබරතාවයට දැඩි ගැටලුවක් වී තිබෙන බවට විචාරකයන් අදහස් දැක්විය. කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ලකුණු 5යි.

විදේශීය දඟ පන්දු යවන්නකු ශ්‍රී ලංකාවට එරෙහිව කරන ලද හොඳම පන්දු යැවීම සටහන් කළ වමතින් දඟ පන්දු යවන්නා කේෂව් මහරාජ් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු අටක් බිද දැම්මේ දකුණු අප්‍රිකානු නායකයා පෙර දිනයේ කී අනාවැකි සැබෑ කරමිනි.

“තණතීරුව හරිම වියළියි. මම හිතන්නේ මෙතන දඟ පන්දු යවන්නන් ලොකු වැඩ කොටසක් කරාවි.....එයින් (එස්.එස්.සී. තණතීරුවෙන්) අපේ වේග පන්දු යවන්නන්ට සහයෝගයක් ලැබෙනවා නම් හොඳයි. ඒත් අපි ඒ දේ බලාපොරොත්තු වෙන්නේ නෑ” යයි දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසී පසුගියදා එස්.එස්.සී. පිටියේදී පැවසීය.

කේෂව් මහරාජ්ගේ මෙම පන්දු යැවීම වසර 36 ක ශ්‍රී ලංකා ටෙස්ට් ඉතිහාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් හමුවේ විදේශිකයකු කළ තුන්වැනි හොඳම පන්දු යැවීම වන අතර ශ්‍රී ලංකාවේදී විදේශිකයකු විසින් කරන ලද විශිෂ්ටතම පන්දු යැවීමද වෙයි.

(under the courtesy of nethgossip.lk news web)

More News »