”මගේ ආරක්ෂාවට පාතාලයන් නැහැ” – සරත් ෆොන්සේකා

2018-07-20 05:01:00       562
feature-top
තමාගේ ආරක්ෂකයන් ලෙස පාතාල සාමාජිකයන් නොමැති බව වනජිවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය දා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ය. තමාගේ ආරක්ෂාවට ‍පොලිස් නිලධාරීන් 17දෙනකු, ‍පොලිස් පරීක්ෂකවරු, 04 දෙනකු සහ ‍පොලිස් විශේෂ බළකා නිලධාරීන් 04 දෙනකු සිටිය දී මැරවරයන් සහ හොර තුවක්කු තබා ගෙන සිටින පාතාල සාමාජිකයන් අවශ්‍ය නොවන බව හෙතෙම පැවසී ය.

තමාගේ කාර්යාලය තුළ හෝ ආරක්ෂකයන් ලෙස මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ කිසිවකු නොමැති බව හෙතම කියා සිටියේ ය.

එමෙන්ම දේශපාලනය කිරීම යනු කාර්යාලවල වැඩකිරීම පමණක් නොවන බැවින් රැස්වීම්වලට හෝ දේශපාලන ක්‍රියාකාරකම්වල දී එක්සත් ජාතික පාක්ෂිකයන් ලෙස පැමිණෙන සියලු දෙනාගේ අතීතය තමා නොදන්නා බව ද හෙතෙම කීය.

මාධ්‍ය තුළින් තමා සමග සිටින පුද්ගලයන් දෙදෙනකුගේ ඡායාරූප යොදා තමාට අපහාස කළ ද එම පුද්ගලයන් වර්තමානයේ දී කිසිදු ජාවාරමකට සම්බන්ධ වී නැතැයි හෙතෙම පැවසී ය.

ඉන් එක් පුද්ගලයකු මීට අවුරුදු 20කට පෙර වැරදිකරුවකු වී නිදහස් වී ඇති පුද්ගලයෙක් බවත් අනෙක් පුද්ගලයාට විරුද්ධව නඩු නොමැති බවත් අමාත්‍යවරයා කීය.

තවද අවුරුදු ගණනකට පෙර වැරදිකරුවෙකු වූ පුද්ගලයෙක් ජීවිතකාලය තුළම වැරදිකරුවෙක් ලෙස පැවැසීය නොහැකි බව ඔහු කීය.

තමා සමග සිටිය දී වැරදී නොකළේ නම් තමාට ඔවුන් ප්‍රතික්ෂේප කළ නොහැකි යැයි අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ ය. පසුගිය ආණ්ඩු සමයේ දී කැලණිය ප්‍රදේශයේ දේශපාලනය කළා මෙන් දේශපාලනය කිරීමට තමාට අවශ්‍ය නොවන බවත් කැලණිය හා පෑලියගොඩ ප්‍රදේශ තුළ දේශපාලන මැරයන් වර්තමානයේ නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

(under the courtesy of hitnews.lk news web)

More News »