ඡායාරූපයක් ගන්න ගිහින් පය ලිස්සා ඇද වැටී සරසවි සිසුවාට අත්වූ සංවේදී ඉරණම..! (PHOTOS)

2018-07-16 02:15:00       372
feature-top
මිතුරන් සමඟ කෑගල්ල, අරණායක අසුපිනි ඇල්ල නැරඹීමට ගිය තරුණයෙකු පසුගිය 14 වනදා ඇල්ලේ ඉහල කොටසේ ගල්තලාවක් මතින් ලිස්සා ගොස් පහතට වැටී තිබෙනවා. ඒ අනුව  ඔහු සොයා මේ වන විට පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ අරණායක, කාල්වාන පදිංචි ධම්මික සම්පත් කුරුවිට නමැති 32 හැවිරිදි කැලණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවකු වන අතර  විශ්වවිද්‍යාලයේ මිතුරන් තිදෙනකු සමඟ පසුගිය 14 වනදා ඇල්ලේ සුන්දරත්වය නැරඹීම සඳහා ගොස් තිබුණා. එම අවස්ථාවේදී අසුපිනි ඇල්ලේ සහ ඒ අවට ඡායාරූපද ලබා ගනිමින් දිය ඇල්ලේ පහළ කොටසද පෙනෙන අයුරින්  තමන්ගේ ඡායාරූපයක් ලබා ගැනීම සඳහා ගල්තලාවේ අයිනට ගිය අවස්ථාවේදී ඔහුගේ එක් පාදයක් ලිස්සාගොස් ඇල්ලෙන් පහතට වැටී තිබෙනවා.

සිදුවීම සිදුවන අවස්ථාවේදී ඇල්ල අවට තරමක වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වයක් තිබී ඇති අතර ඇල්ලේ ජල මට්ටමද වෙනදාට වඩා වේගවත් වී තිබුණා.සිද්ධිය සැළවූ විගසම  තරුණයා සොයා ඇල්ලේ පහළ කොටසේ ප්‍රදේශවාසීන් සෝදිසි කිරීමක් සිදුකර තිබුණද එය අසාර්ථක වී තිබුණා. පසුව මධ්‍යම පළාතේ කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් පැමිණ එදින රාත්‍රිය වනතුරුම අතුරුදන් වූ තරුණයා සමඟ පැමිණි අනිකුත් තරුණයන් තිදෙනාගෙන් සාක්ෂි ලබා ගැනීමට කටයුතු කර තිබුණා.

තරුණයාගේ අතුරුදන් වීමත් සමඟ  බොහෝ තරුණයන් පිරිසක් සහ ඔහුගේ ඥාතීන් එම ස්ථානයට පැමිණ තිබූ අතර අතුරුදන් වූ විශ්වවිද්‍යාල සිසුවාගේ පියාද එම ස්ථානයට පැමිණ පොලිසියට කටඋත්තර ලබා දී තිබුණා.

මේ අතර  ප්‍රදේශවාසීන් පවසන ආකාරය මීට පෙර අසුපිනි ඇල්ලෙන් ලිස්සා ගොස් 14 දෙනකු මිය ගොස් තිබෙනවා. මීට පෙරද ඇල්ලෙන්  පහළට වැටුණු අය එහි පහළ කොටසේ ඇති ගල් කුහරයක් සහිත ජලය ආවාටයක් මෙන් කැරකෙන ස්ථානයකට වැටී ඇති අතර ඔවුන් සොයාගෙන තිබුනේ දින දෙක තුනක් කල් ගතවීමෙන් පසුව බවයි සඳහන් වන්නේ.

මීට පෙර එම ස්ථානයෙක් පහළට වැටී අතුරුදන් වූවන් සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ කිමිඳුම් කණ්ඩායම් මෙන්ම ප්‍රදේශවාසීන්ගේ සහාය ලැබුණද එලෙස අතුරුදන් වූ සියළු දෙනාගේ මළ කඳන් ගොඩට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ ජීවත් රාජපක්ෂ ගෙදර අබේරත්න නමැති  74 හැවිරිදි අයෙකු විසිනි.

ඔහු විසින් ජලයට බැස තරුණයා සොයා දීමට උත්සාහයක් ගෙන තිබුණද ඔහුගේ දරුවන් විසින් ඊට අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා එය මඟ හැරී තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ මෙවැනි අදහසක්.

අපි මේ ඇල්ල සම්බන්ධයෙන් විශේෂයෙන් මම මාධ්‍ය හරහා කොයි තරම් කතා කරලා තියෙනවාද? නමුත් අපි සහ මේ ප්‍රදේශයේ ජීවත් වන අය කියන දේවල් පිටින් එන තරුණයන් අහන්නේ නැහැ. ඊටත් මේ දවස්වල වැස්ස වැඩියි. මේ ස්ථානයට යෑම සුදුසු නැහැ. මේ තරුණයන් එම ස්ථානයට ගියේ මොකටද කියලා මම දන්නේ නැහැ. අසුපිනි ඇල්ල බිලි ගන්නවා කියලා කියනවා. අසුපිනි ඇල්ල බිලි ගන්නේ නැහැ. නොසැලකිල්ල නිසා වෙන දේවල් තමයි මේ වෙන්නේ. මීට කලින් 14 දෙනෙක් වැටිලා මිය ගියා. දැනට අවුරුදු 8කට විතර කලින් වැටුණට පස්සේ තමයි මේ තරුණයා වැටුණේ. එක දවසින් ගන්න ටිකක් අමාරුයි.

එසේම  අතුරුදන් වූ තරුණයාගේ පියාද තම දරුවාගේ අතුරුදහන්වීම ගැන මෙලෙස අදහස් දැක්වුවා.

මේ අතුරුදන් වෙලා තියෙන්නේ බාලයා. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. මම හීනයකින්වත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් පුතාට වෙයි කියලා. දවල් ගෙදර ඉඳන් විශ්වවිද්‍යාලයේ යාළුවොත් එක්ක ඇවිත් තියෙන්නේ. මම ඒ වෙලාවේ ගෙදර හිටියෙත් නැහැ පුතා ඇල්ලට එන වෙලාවේ. පොලිසියට මෙයාගේ යාළුවෝ දුන්න කට උත්තරය විදියට මෙයා ඇල්ලෙන් වැටිලා තියෙන්නේ ඇල්ලේ උඩු කොටසෙන් අත පය සෝදා ගෙන, අසුපිනි ඇල්ල වැටෙන ස්ථානයෙන් අනික් පසට ගිහින් ගලක් උඩ හිටගෙන අනික් අයට ජංගම දුරකථනය දීලා මෙයාගේ ඡායාරූපයක් ගහන්න කියලා තියෙනවා. ඊට පස්සේ පුතා ලිස්සා ගිහින් තියෙනවා. නමුත් එක යාළුවෙක් මෙයා අල්ලා ගන්න ගිහින් තියෙනවා. එයාත් ගල උඩ ලිස්සා වැටී තියෙනවා. පුතා ලිස්සා ගිහින් වතුරට වැටිලා ඇල්ලෙන් පල්ලෙහාට ගිහින් අනික් අය බලා සිටියදී පහළට ගියා කියලා තමයි ඒ පුතාලා කියන්නේ.

මේ අතර මීට පෙරද අදාළ තරුණයා විසින් අවධානම් සහගත ස්ථාන වලට ගොස් ලබාගත් ඡායාරූප සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබුණා.

(under the courtesy of nethgossip.lk news web)

More News »