උපතින්ම අත් පා ආබාධිතයි..! සියළු විභාග ඉහලින්ම සමත්..!

2018-07-11 01:56:00       677
feature-top
උපතින්ම දෑත සහ දෙපා සම්පූර්ණයෙන්ම ආබාධිත වූ දැරියක් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග දෙකෙහිදීම වාචිකව පිළිතුරු සපයයමින් ඉතා විශ්ෂ්ඨ ලෙස සමත් වුනු කෑගල්ල වල්දෙණිය ප්‍රදේශයේ පදිංචි යූ.ජී. තිළිණි නිමේෂා ජයතිලක පසුගියදා පැවති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී උපාධියක් හිමි කරගත්තා. ඒ අනුව ප්‍රශ්න පත්‍රවලට වාචිකව පිළිතුරු සපයා ඉන් විශිෂ්ට ලෙස සමත්වීමෙන් ලෝකයේ ප්‍රථම වතාවට උපාධියක් හිමිකර ගැනීමට ඇය සමත් වුනා.

1992 ජුනි 25 වැනි දින කෑගල්ල මහ රෝහලේදී උපත ලැබූ තිළිණි නිමේෂාට  මාස හතරක් පහක් පමණ කාලයක් ගතවන අවස්ථාවේදී මෙම දැරිය සාමාන්‍ය දරුවකුට වඩා වෙනසක් පෙන්නුම් කළ බව ඇයගේ මව සහ පියා වන පුෂ්පකුමාර සහ ධම්මිකා යුවළ පවසනවා. ඒ අනුව ඇයගේ අත් පා අප්‍රාණික වූ බව සඳහන් කරන දෙමාපියන් රෝහල් ගණනාවකින්ම ඇයට ප්‍රතිකාර ලබා දී තිබුණා.

කොළඹ ජයසිංහ විද්‍යාලයෙන් සහ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඇය පසුව ලංකාවේ එකම විශේෂිත කනිෂ්ඨ විද්‍යාලය වන කෑගල්ල අඹන්පිටිය විශේෂ කනිෂ්ඨ විද්‍යාලයට ඇතුලත් කර තිබුණා. රෝද පුටුවෙන් පාසල් ගමන සිදුකළ ඇය ගුරුවරුන් උගන්වන අවස්ථාවේදී ඊට ඇහුන්කන් දී පසුව විභාග සඳහා වාචිකව පිළිතුරු ලබා දීබෙනවා.

එලෙස අධ්‍යාපනය ලැබූ ඇය ලංකාවේ පළමු වරට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රවලට වාචිකව පිළිතුරු සැපයූ එකම ශිෂ්‍යාව බවද ඇයගේ දෙමාපියන් ප්‍රකාශ කරනවා. ඒ අනුව  2012 වසරේදී උසස් පෙළ විභාගයට කලා අංශයෙන් බෞද්ධ සංස්කෘතිය, සිංහල සහ දේශපාලන විද්‍යාව යන විශයන් හදාරා උසස්පෙළ විභාගයෙන් ඉතා විශිෂ්ඨ ලෙස සමත් වුනා.

අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්වූ නිමේෂා වෙනුවෙන්  එහි පාලන අධිකාරිය විසින් ඇය වෙනුවෙන්ම වෙනම ඒකකයක් පිහිටුවා අධ්‍යාපන ලබාදීමට කටයුතු සිදුකර තිබෙනවා. එදා පටන් වර්තමානය දක්වාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණෙන ආබාධිත ශිෂ්‍යයන්ට  අධ්‍යාපනය ලබා දෙනු ලබන්නේ එම ඒකකය මගින්.

ලෝකයේ ප්‍රථම වරට සියලු විභාගවලට වාචිකව පිළිතුරු සපයා ඉහළින් සමත්වෙමින් උපාධියක් හිමිකර ගත් එකම උපාධිධාරිනිය ලෙස ඉතිහාසට එකතුවුන ඇය තමනිගේ ජීවන අත්දැකීම් මෙලෙස ප්‍රකාශ කලා.

‘‘ මම මුලින්ම පාසල් ගියේ රඹුක්කන හේවාදිවෙල උදන්විට මහා විද්‍යාලයට. අසනීප නිසා මට ශිෂ්‍යත්ව විභාගයට ලියන්න බැරි වුනා. ප්‍රතිකාර ගන්න ඕන නිසා කොළඹ කාලයක් නැවතිලා හිටියා.2004 වර්ෂයේ කෑගල්ල, අඹන්පිටිය විශේෂ මහා විද්‍යාලයට ඇවිත් 2009 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිට ඉහළින් සමත් වුණා. මගේ මවුපියන් මේ ජයග්‍රහණය වෙනුවෙන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වුණා.

සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව මට උසස් පෙළ කරන්න කෑගල්ල රංවල මහා විද්‍යාලයට යන්න සිද්ධ වුණා. එම විද්‍යාලයේ පන්ති තිබුණේ තෙමහල් ගොඩනැඟිල්ලක ඉහළ මාලයේ. මට ඒකට යන්න බැරි නිසා එවකට සබරගමුව පළාත් ප්‍රධාන අමාත්‍යව සිටි මහීපාල හේරත් මහතා අඹන්පිටිය කනිෂ්ඨ විද්‍යාලයට ආපු දවසක මම කීවා මට උසස් පෙළ විභාගය ලියන්න රංවල විද්‍යාලයට යන්න බැහැ පුළුවන් නම් ඔබතුමාට මට උසස් පෙළ ඉගෙන ගන්න මෙම විද්‍යාලයේ උසස් පෙළ පන්ති ආරම්භ කරන්න පුළුවන්ද කියා ඉල්ලීමක් කළා. පසුව මහ ඇමැතිතුමා මා වෙනුවෙන් උසස් පෙළ ගුරුවරුන් මෙම විද්‍යාලයට එවලා කනිෂ්ඨ විද්‍යාලයක්ව තිබූ අඹන්පිටිය විද්‍යාලය මහ විද්‍යාලයක් බවට මා වෙනුවෙන්ම පත්කළා. මා මේ වෙලාවේ මහ ඇමැතිතුමාට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා.

ඊට පස්සේ මගේ අම්මයි, තාත්තයි දෙන්නම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න මාව හැමදාම ත්‍රිරෝද රථයෙන් අරන් ගියා. ඒ දෙන්නත් ළඟ පාසලකට ස්ථාන මාරු හදාගත්තා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෙනම විශේෂ ඒකකයක් මටම කියලා ආරම්භ කළා.

දැන් මට පස්සේ ඒ ඒකකයෙන් තවත් විශාල පිරිසක් ඉගෙනුම ලබනවා. මා මේ තැනට එන්නට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරු මහචාර්යවරුන්, ශිෂ්‍යාවන් මට ගොඩක් උදවු කළා‘‘

උසස් පෙළ සමත් වෙලා මගේ බලාපොරොත්තුව තිබුණේ මහාචාර්යවරියක් වෙලා විශ්වවිද්‍යාලයේ උගන්වන්න. නමුත් ඒ දරුවෝ ගොඩක් ඉගෙන ගත්ත අය තමා විශ්වවිද්‍යාලයට එන්නේ. එතැනදී අපට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි. ඊට වඩා මට හිතුණා මගේ සීයා, කිරි අම්මා සහ මවුපියන් ගුරුවරුන් නිසා මමත් ගුරුවරියක් වෙලා පාසලක සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ට උගන්වන්න. මොකද බෞද්ධ සංස්කෘතිය මට හොඳට පුළුවන්. මට දැන් ඒ අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

(under the courtesy of nethgossip.lk news web)

More News »