අධ්‍යාපනයේදී රටේ කිසිඳු දරුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ තියන්නේ නෑ

2018-07-06 05:10:00       774
feature-top
සයිටම් පෞද්ගලික අධ්‍යාපන ආයතනය පිළිබඳ උද්ගත වූ ගැටළුව විසඳීමට එවන් ගැටලුවකදී මේ රටේ කිසිඳු රාජ්‍ය නායකයෙකු සිදු නොකළ මැදිහත්වීමක් සහ කැපවීමක් තමන් සිදු කළේ අධ්‍යාපනයේදී රටේ කිසිඳු දරුවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතැබීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ සයිටම් ආයතනයේ සිසුන් සහ දෙමාපියන් සමග අද (06) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති හමුවකට එක්වෙමිනි.

විවිධ දේශපාලන හස්තයන් මෙම ගැටළුව පිටුපස සිට දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළද සියලු දරුවන්ගේ අනාගතය පිළිබඳ නිසි අවධානය යොමු කරමින් මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට වත්මන් රජයට හැකියාව ලැබුණු බව ද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

සයිටම් පෞද්ගලික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපනය ලබමින් සිටි දරුවන්ගේ අනාගතය පිළිබඳ නොසිතා සිටියා නම් 2015 වසරේදීම එම ආයතනය වසා දමා ඇඟ බේරා ගැනීමට තමාට හැකියාව තිබුණු බව සඳහන් කළ ජනාධිපතිවරයා චෝදනා, අපහාස, සහ විරෝධතා මැද වසර 03 ක් පමණ අදාළ සියලු පාර්ශ්වයන් සමග සාකච්ඡා පවත්වමින් එම ගැටලුවට නිසි විසඳුමක් ලබාදීමට උත්සාහ ගත්තේ එම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බව ද කියා සිටියේය.

රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් රජයේ පාසල් සහ විශ්වවිද්‍යාල සඳහා අවශ්‍ය සියලු මානව සහ භෞතික සම්පත් ලබාදීමට කටයුතු කරනවා සේම රාජ්‍ය නොවන අධ්‍යාපන ආයතන ද ශක්තිමත් කිරීමේ ප‍්‍රතිපත්තිය රජයක් ලෙස පිළිගෙන තිබෙන බව පැවසු ජනාධිපතිවරයා බෝඞ්ලෑලිවලට සීමා නොවී පෞද්ගලික අධ්‍යාපන ආයතන තුළ තිබිය යුතු ගුණාත්මකභාවය සහ ප‍්‍රමිතිය පිළිබඳව ද නිසි අවධානය යොමු කරමින් කටයුතු කරන බව සඳහන් කළේය.

කොතලාවල වෛද්‍ය පීඨය සඳහා ඇතුළත් කෙරුණු සයිටම් ආයතනයේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ එම වෛද්‍ය පීඨයේ ඉඩ පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා ඉහළ නැංවීම පිළිබඳව විධිමත් පියවර ඉදිරියේදී ගන්නා බවයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියාර් අද්මිරාල් ජේ.ජේ. රණසිංහ යන මහත්වරුන් ඇතුළු විද්වත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(under the courtesy of adaderana.lk news web)

More News »