පාපන්දු පිටියත් අතික්‍රමණය කරමින් IPL ලොව රටවල් රැසක ව්‍යාප්ත කිරීමට සැරසෙයි - එංගලන්තයෙනුත් කණ්ඩායමක්!

2018-05-23 04:57:00       314
feature-top
ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලිය එංගලන්තය ඇමරිකාව ඩුබායි වැනි රට වලටද ව්‍යාප්ත කිරීමට අයීපීඑල් බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.එංගලන්ත ප්‍රිමියර්  ලීග් පාපන්දු තරඟාවලියට පසු සාර්ථකම ක්‍රීඩා තරඟාවලිය බවට පත්වීමට මේ වන විට ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියට හැකිව ඇති බවත් අයි.පී.එල්. තරගාවලි සභාපති රජීව් ශුක්ලා පවසයි.

එංගලන්තයේ විශාල ඉන්දියානු ක්‍රිකට් ප්‍රෙක්ෂකයින් පිරිසක් සිටින බැවින් අයි පී එල් කණ්ඩායම් 8ට අමතරව ලන්ඩනය මූලික කොටගත් තවත් කන්ඩායමක් එක් කර ගැනීමට අයිපීඑල් බළධාරීන්ගේ අවධානය යොමුව තිබේ.මේ සඳහා සරේ ඕවල් ක්‍රීඩාංගණය යොදා ගැනීමේ සැළසුමක්ද ඔවුන් අවධාරණය කර තිබේ.

විදේශීය වෙබ් අඩවියක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇති රජීව් ශුක්ලා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියට පසු වැඩිම ආදායම් ලබන දැවැන්තම ක්‍රිකට් ලීග් තරගාවලිය අයි.පී.එල්. තරගාවලිය බවයි. එහිදී අදහස් දැක්වූ ශුක්ලා "ඉන්දියාවේ සෑම පළාතකම අයි.පී.එල්. තරග පැවැත්වීමේ හැකියාවක් අපට නැහැ. ඒ නිසා අප ක්‍රීඩා ලෝලීන්ට එක්වී තරග නැරඹිය හැකිවන ලෙසින් විශාල රූපවාහිනි තිර යොදා ඔවුන්ට තරගය නැරඹීමේ අවස්ථාව සලසා දෙනවා. කෙසේ වෙතත් එවන් ස්ථාන වලටත් තිස් දහසකට අධික ක්‍රීඩා ලෝලීන් පිරිසක් තරගය නැරඹීම සඳහා එක් වෙනවා. අපගේ මීළඟ ඉලක්කය වන්නේ ඩුබායි, එංගලන්තය සහ ඇමෙරිකාව වැනි රටවල්වල එය ප්‍රචලිත කිරීමයි." යනුවෙන් පවසයි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2018 අයි.පී.එල්. තරගාවලියේ එක් තරගයක ඉන්දියාව තුළ රූපවාහිනී විකාශන ආදායම ඩොලර් මිලියන 8.5ක් බවත් එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ එක් තරගයක එංගලන්තය තුළ එම ආදායම ඩොලර් මිලියන 11ක් වන බවයි.

කෙසේ වෙතත් වාර්තාවලට අනුව එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු තරගයක් ලොව පුරා විසිරී සිටින ක්‍රීඩා ලෝලීන් මිලියන 12කට අධික ප්‍රමාණයක් නරඹන අතර 2017 අයි.පී.එල්. තරගාවලියේ අවසන් තරගය මිලියන 40කට අධික ඉන්දීය ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹා තිබේ.


 



(under the courtesy of nethgossip.lk news web)

More News »