ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම් : යුද හමුදාව සීරුවෙන්

2018-05-20 06:52:00       545
feature-top

පවතින අධික වැසි සහිත කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කළු ගඟේ ජල මට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්නවීම හේතුවෙන් මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවයි.

මේ අතර අත්තනගලු ඔයෙහි ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්නවීම හේතුවෙන්, මීගමුව, ජා ඇල, මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වල වාසය කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී සිටි.
 
අද පස්වරු 03.00 සිට පැය 24 ක කාලයක් දිස්ත්‍රික්ක 08කට නාය යෑමේ අනතුරු ඇඟවීම් ද මේවන විට නිකුත්කර ඇත.
 
ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ කළුතර, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, කොළඹ සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බවයි.
 
අකුණුවලට 5ක් බිළිවෙයි !
 
මේ අතර, අද (20දා) වන විට අකුණු හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙක් මියගොස් තිබේ. 
 
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මරණ 2, බදුල්ල දිස්ත්‍රික්කයේ  එක් මරණයක් හා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මරණ දෙකක් අකුණු හේතුවෙන් වාර්තා වී තිබේ.
 
එසේම අද (20දා) පෙරවරු 9.00 වන විට අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 2194 අයත් පුද්ගලයින් 8690ක් අවතැන්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කරයි.
 
යුද හමුදාව සීරුවෙන් 
 
පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග යම් ආපදා තත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණ දීම සඳහා යුද හමුදා භට කණ්ඩායම් සූදානමින් පසුවන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.
 
ඔහු පෙන්වාදෙන්නේ ආරක්ෂක සේනා මූලස්ථානයේ බටහිර විදානයට අයත් භට කණ්ඩායම් දෙකක් මේ වන විටත් සූදානමින් සිටින බවයි .
 
ආපදා කළමනාකරණ මධයස්ථානයෙන් ලැබෙන තොරතුරු අනුව අවශ්‍ය කටයුතු සඳහා සහය දැක්වීමට පියවර ගන්නා බව සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
 
මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග අධිවේගී මාර්ග වල රිය ධාවනයේදී වේගය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
 
පැයට කිලෝ මීටර 60ක පමණ උපරිම වේගයකින් රිය ධාවනයට රියදුරන් වග බලාගත යුතු බව එම අධිකාරිය පවසයි.

(under the courtesy of nethnews.lk news web)

More News »