ඉදිරි පැය 36 සදහා කාලගුණ නිවේදනය මෙන්න: කළු, ගිං ගඟේ සහ අත්තනගල්ල ඔයේ ජල මට්ටම ඉහලට (PHOTOS)

2018-05-20 06:38:00       374
feature-top

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ගිංගඟේ ජලමට්ටම තවලම ප්‍රදේශයේදී හා කළු ගඟේ ජලමට්ටම නීල්ලකන්ද ප්‍රදේශයේ දී ඉහල ගොස් තිබෙන බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කර සිටිනවා.

අධික වැසි තත්ත්වයත් සමග අත්තනගලු ඔයේ ජලමට්ටම ඉහල යමින් පවතිනවා. ඒ අනුව මිගමුව, ජා-ඇල, මිනුවන්ගොඩ හා ගම්පහ ප්‍රදේශයේ ජිවත් වන ජනතාවට කල්පනාකාරීව සිටින්නැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

මේහේතුවෙන් එම ප්‍රදේශ සඳහා ගලවා ගැනීමේ උපකරණ මේවන විටත් ස්ථානගත කරමින් පවතින බවත් හදිසි ගංවතුර තත්ත්වයක් පිළිබඳව අවධානයෙන් පසුවන්නැයි ගඟ දෙපස සිටින ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි සදහන් කර සිටිනවා.

මේ අතර ඉදිරි පැය 36 ක කාලය තුල වැසි තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරනු ලබන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන කාලගුණ වාර්තාවට අනුව පෙනී යනවා.

ඒ අනුව සබරගමුව, බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ පළාත් වලට වැසි අපේක්ෂා කරන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි තත්ත්වයන් ඇතිවිය හැකි බව කාලගුණ වාර්තාවේ සඳහන් වෙනවා.

වැසි තත්වයත් සමග තද සුළං හා අකුණු ඇතිවීමේ අවධානමක්ද පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඒ හේතුවෙන් අකුණු අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මීට අමතරව දිවයින වටා මුහුදේ ද විටින් විට වැසි සහ තද සුළං ඇති වීමේ හැකියාවක් පවතින බැවින් ධිවර හා නාවික ප්‍රජාවට ඒ පිළිබදව අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.


(under the courtesy of nethnews.lk news web)


More News »