පොස්පේට් පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක් කරන්න කමිටුවක්

2018-05-17 02:07:00       123
feature-top
එප්පාවල පොස්පේට් නිධියෙන් පොස්පේට් පොහොර නිෂ්පාදනය  සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමට කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර මහතා විසින් විද්වත් කමිටුවක් පත් කර තිබේ.

කෘෂිකර්ම රාජ්‍ය ලේකම් ඩි.වි. බන්දුලසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවට සාමාජිකයින් 7 දෙනෙකු ඇතුළත් වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

එප්පාවල පොස්පේට් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී නිලධාරීන් අමාත්‍යවරයා වෙත පෙන්වා දී ඇත්තේ රටට අවශ්‍ය  සමස්ත පොස්පේට් පොහොර ප්‍රමාණය එප්පාවල පොස්පේට් නිධිය මඟින් නිපදවිය හැකි බවයි.

ඒ අනුව එමගින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභ, සකස් කිරීමේ විභවයන් හඳුනාගැනීම, ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපාය මාර්ග ඇතුළත් සැලැස්මක් සැකසීම, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය  ඇස්තමේන්තු ගත මුදල් ප්‍රමාණය සහ එහි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් හා යෝජනා ලබාගැනීම වැනි කරුණු ඇතුළත් ශක්යගතා අධ්‍යයනයක් සිදුකිරීම සදහා විද්වත් කමිටුවක් පත්කිරීමට අමාත්‍යවරයා තීරණය කර තිබේ.

කමිටුව පත් කරමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ පොහොර මිලදී ගැනීමේ දී රුපියල් මිලියන 35,000ක පමණ විදෙස් රටවලට ඇදී යන අතර මෙරට පොහොර නිෂ්පාදනය කිරීම සඳහා මිලියන 9000ක මුදලක් වැය වීම කිසිසේත්ම අසාධාරණ නොවන බවයි.

එබැවින් ලබන වසර වන විට එප්පාවල පොස්පේට් නිධිය මඟින් දේශීය පොහොර නිෂ්පාදනය ඉලක්ක කරගනිමින් අදාළ වැඩපිළිවෙල සකස් කළ යුතු බව අමාත්‍යවරයා සදහන් කර තිබේ.
(under the courtesy of adaderana.lk news web)

More News »