මර්වින් වත්මන් ඇමති කෙනෙකුට කාන්නා ඇඳුම් අන්දවයි?

2018-05-12 04:33:00       610
feature-top
ඉපලෝගම ප්‍රදේශීය ලේකම් කොට්ටාසයට අයත් බැලුම්ගල නම්වූ පුරාවිද්‍යා භූමියක නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා බව පවසමින් ඩෝසර් කර දැමු පුරාවිද්‍යා නටබුන් නිරීක්ෂණය කිරීම සඳහා අද (12) දින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමෙන් පසු නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවාස තැනීම සඳහා තැබූ මුල්ගල ගලවා ඉවත් කළේය.

මාධ්‍ය මඟින් මේ පිළිබඳව හෙළිදරව් කිරීමත් සමඟ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු කණ්ඩායම මෙම ස්ථානයට පැමිණ පුරාවිද්‍යා භූමියේ විනාශය නිරීක්ෂණය කොට මෙය සිදු කළ පිරිසට දැඩි ලෙස දෝෂාරෝපණය කළ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.

එමෙන්ම එම ස්ථානයේ පිහිටි එළාර රජුගේ බැලුම්ගල නම් වූ ගල් ලෙනට මර්වින් සිල්වා මහතා පැමිණි පිරිසගේ ආධාර ඇතිව ගොඩ වීම විශේෂත්වයකි.

බැලුම්ගල ගල උඩට නැඟී හෙතෙම කියා සිටියේ මෙම ස්ථානය ඓතිහාසික වශයෙන් වැදගත්කමක් ඇති ප්‍රදේශයම නිරීක්ෂණය කළ හැකි ස්ථානයක් බව ය. පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව හෙතෙම සඳහන් කළේ ය.

පසුව විජිතපුර බලකොටුවට ආසන්නයෙන් පිහිටි මෙම බැලුම්ගල ප්‍රදේශයේ පිහිටා තිබූ පහන් ගල නම් වූ ස්ථානයට පැමිණ දුටුගැමුණු රජු වෙනුවෙන් පහන් දල්වා යාඥාවක් ද කළේය.

පසුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මෙම ස්ථානයේදී මාධ්‍ය අමතමින් කියා සිටියේ පුරාවිද්‍යා භූමිය ඩෝසර් කර විනාශ කළ පුද්ගලයන්ට වහාම වැඩ තහනමට ලක් කිරීම නොව නීතිය ක්‍රියාත්මක කළයුතු බවය.

මෙන්ම විෂයභාර අමාත්‍යවරයාට එහි වගකීමෙන් මිදීමට නොහැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තමන් යෝජනා කරනු ලබන්නේ වහාම මෙම වැරදි කරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසත් එසේ නොවන්නේ නම් අග්‍රාමාත්‍යවරයා ද මෙහි චූදිතයෙක් වන බව මර්වින් සිල්වා මහතා මෙහිදී සඳහන් කළේය.

අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතාට තමන් මේ පිළිබඳව ලිඛිතව දැනුම් දුන් බවත් ඇමතිවරයා මෙයට ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් ඔහුට කාන්තා ඇඳුම් අන්දවන බවටද තර්ජනාත්මකව ප්‍රකාශයක් කිරීම ද මෙහි දී විශේෂත්වයකි.

ඉපලෝගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ බැලුම්ගල ගම්මානයේ පිහිටි විජිතපුර බලකොටුවට සමාන කම් කියන බැලුම්ගල ආරක්ෂිත පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම විවිධ ස්වේච්ඡා සංවිධාන සහ බෞද්ධ සංවිධාන විසින් මෙම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීම ද විශේෂත්වයකි.
(under the courtesy of adaderana.lk news web)

More News »