පොල්වතුමෝදර පාලම විවෘත කිරීමේදී ඇතිවූ සිද්ධිය ගැන ඇමති සාගලගෙන් පිළිතුරු

2018-05-12 03:23:00       619
feature-top
පොල්වතුමෝදර පාලම විවෘත කිරීමේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්යෙන් අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

ජපාන රජයේ ආධාර යටතේ මාතර වැලිගම ප්‍රදේශයේ ඉදිකෙරුණු පාලම් නිරීක්ෂණය කරන්නට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනමා ඊයේ (11) වැලිගමට පැමිණි බවත් එම අවස්ථාවට අමාත්‍යවරුන්වන කබීර් හෂීම්, මංගල සමරවීර, මලික් සමරවික්‍රම සහ සාගල රත්නායක යන අය සහභාගී වීමට නියමිතව තිබී ඇත.

එහි දී පාලම් 04 ක් නිරීක්ෂණය කිරීමට නියමිතව තිබූ අතර අවසානයේ නිරීක්ෂණය කිරීමට නියමිතව තිබූ පොල්අතුමෝදර පාලම අසල සරළ උත්සවයක් පවත්වා සමරු පලකය විවෘත කිරීමට නියමිතව තිබුණි. අමාත්‍ය සාගල රත්නායක මහතා එම අවස්ථාවටත් පළමුවෙන් නිරීක්ෂණය කරන්නට නියමිතව තිබූ කොලේදණ්ඩ පාලම නිරීක්ෂණය කරන්නට පමණක් සහභාගීවන බව කලින්ම දන්වා තිබු බවද අමාත්‍යවරයා පවසයි.

නමුත් අමාත්‍ය කබීර් හෂීම් මහතා අසනීප තත්ත්වයක් නිසා එම අවස්ථාවන්ට සහභාගී නොවන බව දන්වා තිබුණු බවත් කෙසේවෙතත් අවසන් මොහොතේ මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම අමාත්‍යවරුන්ද එම අවස්ථාවන්ට සහභාගී නොවන බව දැන්වූයේ එම පාලම් නිරීක්ෂණ කටයුතු සහ පොල්අතුමෝදර පාලම අසළ පැවැත්වීමට නියමිත උත්සවයට විරෝධය පළ කිරීමට පිරිසක් සූදානම් බවට සැලවීමෙන් පසුව බව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව සාගල රත්නායක මහතාටද තම ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අවදානමක් ගෙන මෙම අවස්ථාවන්ට සහභාගීවනවාට වඩා සහභාගී නොවී සිටීම උචිත බවය. ඒ වන විටත් ඒ මහතා මෙම විරෝධතාන් පිළිබඳව දැනුම්වත්වී සිටියද සාගල රත්නායක මහතා ඒ අවස්ථාවේ දැඩිව කියා සිටියේ "කවුරු ආවත් නැතත් අද මම මේ පාලම් හතරම බලන්න යනවා. මොකද එතෙන්ට ජපන් තානාපතිතුමාත් එනවා. අපි කොහොමද තානාපතිතුමා විතරක් එතෙන්ට යවන්නේ. මෙතෙන්ට මම යන එක මගේ යුතුකමක්. ඒ නිසා මම නම් යනවා" යනුවෙනි.

ඒ අනුව ඇමති සාගල රත්නායක මහතා කියූ පරිදිම කෙලේදණ්ඩ, දෙණිපිටිය, පොල්වත්ත පාලම් නිරීක්ෂණය කර පොල්වතුමෝදර පාලම නිරීක්ෂණයට සහ උත්සවයට පැමිණ තිබේ. ඒ ජපාන තානාපතිවරයා සමඟිනි. ඒ එන අතරතුර දී පිරිසක් ඇමතිවරයා හා තානාපතිවරයා එන වාහන පේළිය හරස් කරමින් විරෝධය පළ කළ අතර පොලිසිය මැදිහත් වී විරෝධතාකරුවන් ඉවත්කරන්නට කටයුතු කළේය. නමුත් ඒ වන විටත් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ඇතුළු පිරිසක් පැමිණ පොල්වතුමෝදර පාලමේ සවිකර තිබූ සමරු පලකයට හානිකරන්නටත් ජපන් තානාපතිවරයා සහ අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් කපන්නට සූදානම් කර තිබූ පීත්ත පිටියත් කපා දමන්නට උත්සාහ කර තිබුණි. එම අවස්ථාවේ කලහකාරීව හැසිරුණු පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙනතිබිණි.

කෙසේ වෙතත් ඇමති සාගල රත්නායක මහතාත් ජපාන තානාපතිවරයාත් කිසිදු බාධාවකින් තොරව මහාසංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය මැද පිරිත් සජ්ඤායනා මධ්‍යයේ පාලම විවෘත කරනු ලැබිණ. ඉන් අනතුරුව ඇමති සාගලගෙන් මාධ්‍යවේදීන් අදාළ සිද්ධිය පිළිබඳ ප්‍රශ්න කරනු ලැබ තිබේ.

එහි දී සාගල කියා සිටියේ "කමක් නෑ, ඒක ඒ අයගේ පොඩි චූන් එකක්. එනවනම් ඕක කරන්න දෙන්න, මේක ජපන් රජයේ ජනතාවගේ මුදල්වලින් මේ කටයුතු කරලා තියෙන නිසා විවෘත කිරීම සඳහා ඒ රටේ තානාපතිතුමා සහභාගී වෙන්න ඕන. ඉතින් මේ ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරන වෙලාවේ ඒ රටේ නියෝජනයක් තියෙන්න ඕන එතන. තානාපතිතුමා අපි සමඟ සහභාගී වෙලා ඉන්නවා. "

"ජපන් රජයේ ආධාර යටතේ ඉදිකරනු ලබන පාලම් ව්‍යාපෘති දෙකක් තියෙනවා. එහි දෙවන ව්‍යාපෘතිය යටතේ ඉදිවන පාලම් තමයි මේ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ඉදිකෙරෙන, අද විවෘත කරන පාලම් හතර. එය දැන් ජනතා අයිතියට පැවරීමට වැඩකටයුතු යෙදුනා.  මේ වැඩකටයුතු පටන්ගත්තේ 2014 වර්ෂයේදී. 2014 මේ වැඩකටයුතු පටන්ගත්ත දේශපාලන අධිකාරිය, ව්‍යාපෘති නිලධාරීන්, ජපන් රජයට සහ ජපන් තානපතිතුමන්ට ස්තුතිය අපි පුදකළ යුතුයි. නොයෙකුත් බාධක මැද මෙම පාලම් වැඩසටහන සිදුකරනු ලැබුවද අද ජනතාවට කුඩා ඉඩ ප්‍රදේශයක් තුල පාලම හතරක් ලබාදීමට හැකියාව ලැබිල තියෙනවා.

2001 වර්ෂයේ දක්ෂිණ අධිවේගී මාර්ගයට මුල්ගල් තැබුවා වැඩකටයුතු ආරම්භ කිරීමට නමුත් වැඩකටයුතු පටන් ගත්තේ නැහැ. 2003 නැවත අපේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා වැඩකටයුතු ආරම්භ කිරීමට කටයුතු කළා. ඒ අවස්ථාවේදී අපි බද්දෙගමදී උත්සවයක් පැවැත්වුවා. නමුත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැඩකටයුතු නිමකරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේදී ඒක ජනතා අයිතියට පත්කලා. මේක තමයි රටක රජයක් වෙනස්වෙනකොට රටේ සංවර්ධනය ඉදිරියට අරගෙන යන විදිය. ඉතින් ඒ වගේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ කාලේදී වැඩ පටන් ගත්ත අධිවේගී මාර්ගයේ වැඩකටයුතු මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී වැඩ නිම වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේදී වැඩ පටන් ගනිපු මේ වැලිගම පාලම් හතරේ වැඩකටයුතු අපේ ආණ්ඩු කාලේදී වැඩ නිමවුණා. ඒ වැඩකටයුතු නිමකරන්න කටයුතු කල සියලුදෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මේ කටයුතු වලින් රටට යහපතක් සිදුවෙන ආකාරයෙන් රටේ සංවර්ධනය බාධක නැතිව සාර්ථකව ඉදිරියට ගෙනයන්න අපි වැඩකටයුතු කරනවා. කියාය.

කෙසේවෙතත් සියලු කටයුතු අවසන්ව සාගල මාතර සනායා හෝටලයේ පැවැති ආයෝජකයන් 2000 ක් බිහිකිරීමේ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් වැඩසටහනට සහභාගී වීමට එහි යද්දී ඇමති මංගලත්, මලික් සහ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහත් පැමිණ සිටි බව සාගල රත්නායක මහතාගේ මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana.lk news web)

More News »