ලණු වගේ ඇඹරෙන ලණු අඹරන්නන්ගේ ජිවිත ඉරණම

2018-04-24 09:27:00       546
feature-top
‘‘එක තප්පරයක්වත් නිකන් ඉන්න බැහැ. ඒ තරමට වැඩ තියෙනවා.  හැබැයි වෙළද පොළ හොද ඉල්ලුමකුත් තියෙනවා. ඒත් කිසි වැඩක් නැහැ අපිට අවශ්‍ය අමු ද්‍රව්‍ය හිගය තදින්ම බලපානවා.’’

‘‘මේ රස්සාවට වේලාවක් කලාවක් නැහැ. හිතිච්ච වෙලාවට වැඩ කරලත් ලොකු ආදායමක් ඒ දවස් වල ගත්තා අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම අපිට අහිමිවෙලා’’මෙසේ තම කර්මාන්තයට අත්ව ඇති ඉරණම පිලිබද අපත් සමග කතා බහට එක් වූයේ මුන්දලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් කරිකට්ටිය ප්‍රදේශයේ කොහු ආශ්‍රිත නිෂ්පාදකයින් පිරිසකගේ කදුළු කතාවයි.

මුන්දලම, මදුරන්කුලිය, කරිකට්ටිය ප්‍රදේශයේ ස්වයං රැකියාවක් ලෙස සුළු හා මධ්‍යම පරිමාණ වශයෙන් පවත්වාගෙන යනු ලබන කොහු ආශ්‍රිත නිපැයුම් කරුවන්ගේ කර්මාන්තය මේ වන විට වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති බවට ඔවුන් මැසිවිලි නගති.

දැනට වසර ගණනාවකට පෙර අවිධිමත් අධ්‍යාපනයේ නිරතවන්නන් බොහෝ පිරිසක් තම සහජ හැකියාවන් මුල් කරගනිමින් සිය  කර්මාන්තය ආරම්භ කරගෙන ගොස් ඇති අතර, එකී කාල වකවානු වලදී බහුතරයක් ලාභ ලබන කර්මාන්තයක් බවට ප්‍රසිද්ධියක් දැරූ අතර, නිෂ්පාදන සදහාද වෙළද පොල ඉහළ ඉල්ලීමක් මෙන්ම වටිනාකමක් තිබූ බවත්, එයින් කර්මාන්ත කරුවන්ගේ දෛනික ආදායමේ වර්ධනයක්ද දක්නට ලැබූ බව කියති.

නමුත් පසු ගිය වසරේ සිට මෙම කර්මාන්තයට කුඩම්මාගේ සැලකිලි ලැබෙන්නට පටන් ගෙන තිබීම කර්මාන්ත කරුන්ට මෙන්ම සිය කර්මාන්තයටද නරක දසාවක් උදාවී ඇති බවට ඔවුන් මැසිවිලි නගති.

ඒ අන් කිසිවක් නිසාවෙන් නොව   කර්මාන්තය ආශ්‍රිතව නිෂ්පාදනය කෙරෙන සිය නිෂ්පාදන සදහා පවතින උග්‍ර අමු ද්‍රව්‍ය ක්ෂය වීම නිසාවෙන් තම කර්මාන්ත නුදුරේදීම වැසී යාමේ දැඩි අවධානයකට ලක්ව ඇති බව කියති.

මෙම කර්මාන්තය ආශ්‍රිතව නිෂ්පාදනය වන  නිපයුම් ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ලණු, කඹ, කොසු, ඉදල්, පාපිසි, බුමුතුරුණු ඇතුළු තවත් විසිතුරු නිෂ්පාදන බොහොමයක් නිර්මාණය කෙරන බවත්, මේ සදහා වෙළද පොල ඉහල ඉල්ලීමක් සෑම දිනකම එකසේ පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ මිල උච්චාවචනය වුවද මෙම නිෂ්පාදන සදහා වෙලද පොල එකම මිලක් පැවතිම තවද මොවුන් නිෂ්පාදනය කරන නිෂ්පාදන ක්ෂණිකව අලෙවි වන බවයි මොවුන් පෙන්වා දෙන්නේ.

නමුත් මේ දිනවල පවතින උග්‍ර අමු ද්‍රව්‍ය හිගයත් පාරම්පරික කර්මාන්ත කරුවන්ගේ නික්ම යාම වැනි කරුණු නිසාවෙන් නුදුරේදී තම කර්මාන්තය සම්පූර්ණයෙන් වැසී යාමේ තර්ජනයට මුහුණ දී ඇති බව කියයි. මෙහි තමන් විසින් සකසා ගන්නා ලද සරළ යන්ත්‍රෝපකරණ යොදා ගනිමින් සිය නිෂ්පාදන සිදු කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසුකදී වීරපුර, මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි පාරම්පරික කර්මාන්ත කරුවෙකු වන එස්.පී. ගුණසිරි මහතා පවසා සිටියේ මෙවැන්නකි.

‘‘අපි මේ කර්මාන්තය කරගෙන ගියෙ ඒ කාලේ කාටවත් අත නොපාමොකද මේ රස්සාවට ඒ තරම් වැදගත් කමක් ඒ දවස් වල  තිබුණා. අද ඒ තත්ත්වය පහළ වැටිලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. මම දකින විදියට එකක් තමයි නවීන උපකරණ වෙළද පොලට හදුන්වා දීලා තියෙනවා. තව දෙයක් තමයි ඉදලක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය ඉරටු අපි ලබා ගත්තෙ ඉස්සර පොල් වත්තකට ගියින් ඉල්ලපු සැනින් අද ඉරටු රත්තරං ගාණට වැටිලා ඉරටු කිලෝ එකක් රුපියල් 40ක් 50ක් වෙනවා හේතුව තමා ගෙඩි පොල් අත්තක් පොල් වතුකාරයො දෙන්නෙ රුපියල් 35ට විතර ඒ නිසා එයාලට ලාභයි පොල්අතු දෙන එක මොකද පොල් අත්තක ඉරටු කිලෝ එකක් ලබා ගන්න බැහැනෙ. ඔන්න ඔතනදී ඉදල් නිෂ්පාදනයට සම්පූර්ණයෙන්ම බාධා ඇති වෙනවා. කොසු , ඉදල්, වලට මිටවල් හොයන්න කොටින්ම බැරි වෙලා තියෙනවා මොකද වන ජීවි එක කැලේට යන්න දෙන්නෙ නැහැ. කොහු හොදට හිගයි අපිට මෝල් වලින් ලැබෙන්නෙ බාල කොහු එව්වා ගෙනල්ලා ලණු අඹරන්න කොටින්ම බැහැ ඔන්න ඔය කාරණා නිසා අපේ කර්මාන්තය තව අවුරුද්දකින් වැහිලා යන මට්ටමකට පත් වෙලා තියෙනවා’’

මේ සම්බන්ධයෙන් අප කල විමසුකදී මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි පාරම්පරික කර්මාන්ත කරුවෙකු වන සුමනාවතී මහත්මිය  පවසා සිටියේ මෙවැන්නකි.

‘‘අද මේ රස්සාව කරන්න බාල පරපුර අකමැතියි ඒ වගේම ලැජ්ජයි මොකද එයාලා කොම්පියුටර් පස්සෙන් දුවන නිසා මේ රස්සාව තරම් හොද රස්සාවක් තව නැහැ කියලා මම ඕනෑම තැනක කියන්න කැමතියි මොකද කාටවත් යටහත් නැහැ අපේ නිෂ්පාදන වලට හොද ඉල්ලුමක් තියෙනවා. කවදාවත් අපේ නිෂ්පාදන කල් ඉකුත් වෙන්නෙ නැහැ. අපිට හිතූ විදියට සල්ලි හොයන්න පුළුවන්කම තිබුණා නමුත් අද වෙද්දි ඒ තත්ත්වය කොටින්ම නැති වෙලා ගිහිල්ලා තියෙනවා. දැන්නම් කර්මාන්තය බල්ලට ගිහිල්ලා තියෙන්නෙ අද රුපියල් 1000ක් හොයා ගන්නෙත් බොහොම අමාරුවෙන් මොකද නිෂ්පාදන නිෂ්පාදනය කරන්න  උවමනාකරන බඩු මුට්ටු නැති නිසා’’

මේ සම්බන්ධයෙන් අප කල විමසුකදී මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.රමණි සේපාලිකා මහත්මිය  පවසා සිටියේ මෙවැන්නකි.

‘‘ඉස්සර අපිට කොටින්ම නිදහසක් තිබුණෙ නැහැ රෑ දහවල් දෙකේම වැඩ කෙරුවා මොකද ඒ තරමට අපේ භාණ්ඩ වලට හොද ඉල්ලුමක් තිබුණා. අද එහෙම නෙමෙ ලණු මඩු වල මැස්සෝ ඇහිරෙන්න පටන් අරන් සමහර එව්වා පාළු වෙලා ගිහින් මොකද හේතුව එකක් තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන බාස් වරු හොයා ගන්න බැහැ හොයා ගත්තත් එයාලට ලොකු පඩියක් ගෙවන්න විදියක් නැහැ. භාණ්ඩ හදන්න අමු ද්‍රව්‍ය හොයා ගන්නෙ හරියට කළු නික හොයා ගන්නවා වගේ පුදුම අමාරුවක් තියෙන්නෙ ඔන්න ඔය වගේ ගැටළු ගොඩක් තියෙනවා’’




More News »