ආණ්ඩුවේ ඉන්නවද? නැද්ද? තීන්දුව ගන්න මහින්දටත් ආරධනා !

2018-04-20 12:34:00       600
feature-top

ශ්‍රීලනිප තවදුරටත් සම්මුතිවාදී ආණ්ඩුව තුල රැඳී සිටිනවද ? නැද්ද ? යන කාරණය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා ඉදිරියේදී කැඳවීමට නියමිත ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට ද ආරාධනා කිරීමට නියමිත බව පසුගියදා ආණ්‌ඩුවෙන් ඉවත් වූ එම පක්ෂයේ 16 කණ්ඩායමේ සාමාජිකයකු පැවසිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපදේශකයින් ලෙස එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරති.

පසුගිය අප්‍රේල් 09 දා රාත්‍රී පැවති මධ්‍යම කාරක සභා රැස්වීමට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය, ඇමැති ධුර වලින් මෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වීමට අවශ්‍ය බවට 16 කණ්ඩායමේ සාමාජික අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා කල යෝජනාවට දැඩි ලෙස විරෝධය පළකර තිබිණ.

'ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්‌වීමට කැඳවීමක්‌ කළහොත් අනිවාර්යයෙන්ම යනවා' - කුමාර වෙල්ගම

මේ අතර 'දිවයින' පුවත්පතට අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා,  ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට සහභාගි වන ලෙසට තමාට කැඳවීමක්‌ කළහොත් ඊට තමා අනිවාර්යයෙන්ම සහභාගි වන බව සඳහන් කර තිබේ.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්‌ඩායමෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන එකම මන්ත්‍රීවරයා වන තමා මධ්‍යම කාරක සභාවට පත්කර ඇත්තේ පක්‍ෂයේ සමස්‌ත ලංකා කාරක සභාවෙන් බවත් මන්ත්‍රීවරයා කියා සිටියි.

පසුගියදා ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී. ල.නි.ප. මන්ත්‍රීවරු 16 දෙනා විපක්‍ෂයට එන බව ප්‍රකාශ කර තිබෙන බවත්, විපක්‍ෂයට ආවොත් ඔවුන් ආදරයෙන් පිළිගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.  


(under the courtesy of srilankamirror.lk news web)

More News »