හොර පාරෙන් ලංකාවට ගෙනා දුම්වැටිත් සමඟ දෙදෙනෙක් රේගු අත්අඩංගුවට

2018-03-22 03:22:00       533
feature-top
නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ශ්‍රී ලංකාවට දුම්වැටි තොගයක් රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (22) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව සහකාර රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා ප්‍රකාශ කළේය .

මෙයින් එක් අයෙකු 50 හැවිරිදි බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , අනෙක් පුද්ගලයා 34 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මොවුන් දෙදෙනා අද උදෑසන 8.25 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 450 (E.K. -450) දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරිත මාවත ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .

මොවුන් දෙදෙනා රැකියාවක් සොයා ගැනීම සඳහා සංචාරක වීසා ඩුබායි වෙත ගොස් තිබූ අතර , ඔවුන්ට නිසි රැකියාවක් සොයා ගැනීමට නොහැකි වූ නිසා මෙසේ ආපසු පැමිණෙමින් සිටි අතර , ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙම දුම්වැටි තොගය මොවුන්ට ලබා දී තිබූ බව රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ .

 දුම්වැටි 23,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 117 ක් ඔවුන්ගේ ගමන් මලු වල සගවා ගෙන තිබූ අතර , ඒවායේ වටිනාකම රුපියල් 11,70,000 ක් (එකොලොස් ලක්ෂ හැත්තෑ දහසක් ) බව රේගුව ප්‍රකාශ කරයි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජබීර් මහතාගේ අධීක්ෂණය යටතේ , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ඕ.ජේ.ඔබේසේකර සහ විරාජ් විජේවර්ධන යන මහත්වරුන් විසින් මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය පැවැත්වූ අතර , එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර මෙම පුද්ගලයින් දෙදෙනාට රුපියල් 75,000 සහ  රුපියල් 25,000 බැගින් දඩ මුදල් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

More News »