ශ්‍රි ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ගැන වාර්තාව අද මානව හිමිකම් සැසියට

2018-03-21 10:14:00       171
feature-top
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ශ්‍රි ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන වාර්තාවක් අද (21) මානව හිමිකම් කවුන්සලයේ 37 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශ්‍රි ලංකාව නියෝජනය කරමින් මෙම සැසිවාරයට සහභාගී වන විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අදාළ වාර්තාව සම්බන්ධයෙන් මෙරට රජයේ ස්ථාවරය පැහැදිළි කිරීමට නියමිතය.

2015 වර්ෂයේ ඔක්තෝම්බර් 01වන දා ජීනිවා හී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරයේදී  ශ්‍රි ලංකාවේ සහ අමරිකාවේ සම අනුග්‍රහයෙන් මෙරට වගවීමේ සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් වන 30/1 යෝජනාව සම්මත විය.

ඉන් අනතුරුව 2017 මාර්තු 23 වනදා කවුන්සලයේ 34 වන සැසිවාරය අතරතුරදී 34/1 නමින් තවත් යෝජනාවක් සම්මත වූ අතර එම යෝජනාව හරහා ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම හා මානව හිමිකම්වලට සම්බන්ධ ක්‍රියාවලියේ ප්‍රගතිය අඛණ්ඩව සොයා බලා  කවුන්සිලයේ 37 වැනි සැසිවාරයට වාර්තා කරන ලෙස මහකොමසාරිස්වරයාගේ කාර්යාලයෙන් ඉල්ලීමක් කරනු ලැබීය.

එම ඉල්ලීමට අනුව අද දිනයේදී මෙරට වේලාවෙන් රාත්‍රි 7.30ට පමණ ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු විසින් ශ්‍රි ලංකාව 30/1 යෝජනාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ වන වාර්තාවක්  මෙවර සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අද දිනයේදී ශ්‍රි ලංකා රජයේ නියෝජිතයින් ලෙස සැසිවාරයට සහභාගී වන්නේ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතායි.

මේ අතර රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් අදත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 37වන සැසිවාරය අමතා අදහස් පළකල අතර  ගෝලිය ශ්‍රි ලංකා සංසදය නියෝජනය කරමින් ආචාර්ය නාලක ගොඩහේවා මහතා සැසිවාරය අමතනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය නාලක ගොඩහේවා මහතා,

"2009 දී එල්.ටී.ටී.ඊ සංවිධානය පරාජය කිරීමත් සමග සිංහල,දෙමළ,මුස්ලිම් බර්ගර් සියලුම ශ්‍රි ලාංකිකයින් දශක තුනක යුද්ධයෙන් විනාශ වූ දේශය නැවත ගොඩනගන්න අත්වැල් බැඳගත්තා.බහුතර ශ්‍රි ලාංකිකයින් වර්තමාන රජය සමග එකඟ වන්නේ නෑ.එය සම අනුග්‍රහය දුන්නා පදනමක් නොමැති තොරතුරු මත සකස් කරන ලද යෝජනාවකට.මෑතකදි පැවති පළාත් පාලන ඡන්දයේදී බහුතර ඡන්දදායකයින් අපගේ රට සහ විනයගරුක හමුදාවේ ගෞරවය පාවාදුන් රජයේ ප්‍රතිපත්තිවලට තමන්ගේ අප්‍රසාදය පළකලා.අවුරුදු 2600 කට අධික ලිඛිත ඉතිහාසයක් ඇති අපිට අපේ ජනතාවගේ අභිලාශයන් ඉටුකරන්න කටයුතුකරන්න පුළුවන්. අපි ඉල්ලා සිටිනවා ජාත්‍යන්තර ප්‍රජාවෙන් බාහිර විසඳම් සඳහා බලකිරීම් නොකරන ලෙස."

(under the courtesy of adaderana.lk news web)

More News »