සාර්ථක සංචාරයකින් පසු සමුදුර සහ සුරනිමිල නෞකාවන් යළි දිවයිනට

2018-03-18 09:18:00       235
feature-top
ඉන්දීය නාවික හමුදාව විසින් පවත්වනු ලබන ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක් වන මිලාන් අභ්‍යාසයට සහභාගීවිම සඳහා පසුගිය මාර්තු මස 02 වන දින දිවයිනෙන් පිටත් වූ ශ්‍රී ලංකා නෞකා වන සමුදුර සහ සුරනිමිල යන නෞකාවන් සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ (17) කොළඹ වරායට සේන්දු විය.

එහිදී නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාවන් පිළිගත් අතර, එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සනත් උත්පල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. එහිදී ඔවුන් නෞකාවන්ගේ අණදෙන නිලධාරීන් සමඟ සංචාරයේ ප්‍රගතිය, එහි ක්‍රියාකාරම් ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක ද නිරත විය.

මෙම ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසය සඳහා රටවල් 17 ක් නියෝජනය කරමින් නෞකා 19 ක් සහභාගී විය. එයට සමගාමීව සංවිධානය කරන ලද සංගීත කන්ඩායම් විවිධ ප්‍රසංග, අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණ, සංගීතමය සන්ධ්‍යාවන්, සංස්කෘතික අංගයන්, ආහාර ප්‍රදර්ශණ, ටේබල් ටොප් අභ්‍යාසයන්, වනගත චාරිකා, මිලාන් මංගල භෝජන සංග්‍රහය, අන්තර්ජාතික නාවික පාගමන සහ බහු කාර්යය නාවික අභ්‍යාසයන් සඳහා ද නෞකාවන්ගේ කාර්යය මණ්ඩලයන් සහභාගී විය. එහිදී, ‘සාගරික මිත්‍රත්වය තේමා කර ගනිමින් අන්තර් ක්‍රියාකාරිත්වයන්, සමුද්‍රිය යහපැවැත්ම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම මෙන්ම නීතිවිරෝධී මුහුදු ක්‍රියාකාරකම් වලට එරෙහි කටයුතු කිරීම සම්බන්ධ අභ්‍යාසයන් සිදු කෙරිණි.


(under the courtesy of adaderana.lk news web)

More News »