විවිධ වර්ගයේ ගිනි අවි වික්ක අයෙක් පානදුර දී කොටුවෙයි

2018-03-14 04:19:00       539
feature-top
විවිධ වර්ගයේ ගිනි අවි නිෂ්පාදනය කර කලක් තිස්සේ මුදලට අලෙවි කළ පුද්ගලයෙකු ඊයේ(13) කළුතර දිසා අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ තොරතුරු මත බෙන්තර ආරච්චිමුල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ තවත් ගිනි අවි කිහිපයක් ද කළුතර දිසා අපරාධ ඒකකය විසින් සිය බාරයට ගෙන ඇත.

කළුතර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට ලද තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකදී අදාළ පුද්ගලයා පානදුර නගරයේදී ගිනි අවියක් ද සමඟ ඊයේ පස්වරුවේ අත්අඩංගුවට පත්ව තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත් පුද්ගලයා යුද හමුදාවෙන් පළා ගිය සෙබලෙක් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

ඔහුගෙන් සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අනාවරණ වූ කරුණු මත බෙන්තර ආරච්චිමුල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ තවත් ගිනි අවියක්, පතරොම් කිහිපයක් සහ ගිනි අවි නිෂ්පාදනයට භාවිත කළ බව පැවසෙන උපකරණ කිහිපයක් පොලීසිය අද(14)පෙරවරුවේ සිය බාරයට ගෙන තිබේ.

කළුතර දිසා අපරාධ ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.

(under the courtesy of adaderana.lk news web)

More News »