උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩපිළිවෙළක්

2018-03-14 01:33:00       525
feature-top
එළඹෙන උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

උත්සව සමයේදී පාරිභෝගිකයින්ට වෙළඳපොලේදී සිදුවිය හැකි අසාධාරණකම් වැලැක්වීම සහ ඇති විය හැකි ගැටළු මඟ හැරවීම සඳහා මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බව පාරිභෝගික අධිකාරිය පැවසුවේය.

මාර්තු මස 12 වන දින සිට අප්‍රේල් මස 12 වනදා දක්වා දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ සඳහා පාරිභෝගික අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් වැටලීම් හා විමර්ශන කටයුතු සඳහා යෙදවෙන බව සඳහන්ය.

එහිදී වෙළඳුන් විසින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, කල් ඉකුත් වූ සහ තොරතුරු වෙනස් කරන ලද භාණ්ඩ, අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා තැබීම්, මිල ප්‍රදර්ශනය නොකිරීම් යනාදී කරුණු සම්බන්ධයෙන් වැටලීම් සිදුකිරීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.

උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී අවබෝධයකින් යුතුව භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන ලෙසද පාරිභෝගික අධිකාරිය ජනතාවනේ ඉල්ලීමක් කරයි.

(under the courtesy of adaderana.lk news web)

More News »