ජනපති ටෝකියෝ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේ නිරික්ෂණ චාරිකාවක

2018-03-14 01:20:00       230
feature-top
ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ටෝකියෝ නුවර ශිනගාවා ප්‍රදේශයේ පිහිටි නවීන අපද්‍රව්‍ය කලමනාකරණ මධ්‍යස්ථානයක නිරීක්ෂණ චාරිකාවක නිරතවී තිබේ.

අද (14) පෙරවරුවේ ජනාධිපතිවරයා එම නිරීක්ෂණ චාරිකාවේ නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මිලියන 9 යි දශම 03  ක් වන ටෝකියෝ නුවර ජනතාව දෛනිකව බැහැර කරනු ලබන මෙට්‍රික් ටොන් 11,000 ක් පමණ වන කැලි කසල කලමනාකරණය සඳහා මෙවැනි මධ්‍යස්ථාන 23 ක් පවත්වාගෙන යනු ලබන බව සඳහන්ය.

නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් පරිසර හිතකාමී ලෙස සිදුකරනු ලබන කැලි කසල කලමනාකරණ කටයුතු එහිදී ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

කසල කලමනාකරණ ක්‍රියාවලියේ අතුරු ඵලයක් ලෙස ජනනය වන තාප ශක්තිය විදුලි බලය බවට පත් කර එම විදුලිය අපද්‍රව්‍ය කලමනාකරණ මධ්‍යස්ථානයේ භාවිතවට ගැනීමෙන් පසුව ඉතිරි ප්‍රමාණය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමද එහි විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ කැලිකසල ගැටලුව විසඳීම සඳහා මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ සහ ඒ සඳහා ජපාන රජයේ සහයෝගය ලබාගැනීමේ හැකියාව සොයාබලන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී සඳහන් කර ඇත.

(under the courtesy of adaderana.lk news web)

More News »