ඉහළ ඇළහැර ඇළේ ඉදිකිරීම්වලට පවුල් 97ක් ඉවත් කරන්න වෙලා

2018-03-14 10:05:00       595
feature-top
මොරගහකන්ද ජලාශයේ සිට උතුරු මැද පළාතේ වැව් සඳහා ජලය රැගෙන යෑමට අවශ්‍ය ඉහළ ඇළහැර ඇළ  ඉදිකිරීම් සඳහා  ප්‍රදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක පවුල් 97 ඉවත් කිරීමට සිදුව ඇති බව ඉහළ ඇළහැර ඇළ ‍ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු නීල් බණ්ඩාර මහතා කියා සිටියි.

ඉදිකිරීම් සඳහා මෙසේ පීඩාවට පත්වන සියළුම පවුල් සඳහා   කෘෂිකර්මාන්ත ඉඩම් පදිංචිය සඳහා ඉඩම් වාණිජ කටයුතු සඳහා ඉඩම්  නිවාස හා දේපල ආදිය තක්සේරු කොට නිසි වන්දි ලබාදීම සඳහා ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය මඟින් මුදල් වෙන්කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

ඉහළ ඇළහැර ඇළ  ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා මෙම පවුල් 97 ඇළහැර, ගලෙන්බිඳුනුවැව, පලුගස්වැව, හිගුරක්ගොඩ ,යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වලට අයත් පුද්ගලයින් වේ .

මොරගහකන්ද ජලාශයට  එකතුවන ජලය උතුරු මැද පළාත වාරි කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම ඇළ මාර්ගය සකස් කරනු ලබයි.

මේ සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන හැට පන්දහසක් පමණ වෙයි.

කළුගඟ  මොරගහකන්ද ජලාශයේ සිට ඇලහැර ගිරිතලේ අභය භූමිය මින්නේරිය ගිරිතලේ රක්ෂිතය හුරුළු වන රක්ෂිතය හරහා මහකනදරා වැව දක්වා මෙම ජලය රැගෙන යෑමට පෝෂිත ඇළ මාර්ගය ඉදිකිරීමට නියමිත බව නීල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට ඉහළ ඇළ හැර ඇළ ව්‍යාපෘතියේ  ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇත.

(under the courtesy of adaderana.lk news web)

More News »