වී සඳහා සාධාරණ මිලක් නොලැබෙන බවට ගොවීන්ගෙන් චෝදනා

2018-03-10 12:08:00       725
feature-top
මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල සහ විල්ගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල මේ දිනවල වී අස්වනු නෙළීම ආරම්භ කොට ඇතත් වී සඳහා සාධාරණ මිලක් නොමැති වීම නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව  සිටින බව ගොවීන් පවසයි.

විල්ගමුව ප්‍රදේශයේ ගොවීන් කියා සිටින්නේ මේ වන විට අතරමැදි වෙළෙන්දන් විසින් නාඩු වී කිලෝවක් රුපියල් 27 සිට රුපියල් 28 දක්වා වූ මිලකට ලබා ගන්නා බවය.

මාස කිහිපයක් තිස්සේ ඉතා දුක් මහන්සියෙන් තම අස්වැන්න ලබා ගත්තද ඒවා මිලදී ගැනීමේ කිසිඳු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම නිසා ඔවුන් දැඩි අසීරුතාවයකට පත්ව මෙවර සිංහල අලුත්  අවුරුද්ද සිහිනයක් බවට පත්ව තිබෙන බවය.

යන්ත්‍ර සූත්‍රවලින් එක වැරම අස්වනු නෙළීම සිදු කරන නිසා ගොවීන්ගේ වී ටික වේලා ගැනීමට ක්‍රමවේදයක් නොමැති වීමද තවත් මිල පහත වැටීම නතුවී ඇතැයි ගොවීහු පවසති.

නව යන්ත්‍ර සූත්‍රවලින් වී අස්වනු නෙලීමේදී වී මිලදී ගන්නා ගොවීන් ඉතා සූක්ෂම ලෙස වී වියළී නැති බව පවසමින් මිල අඩු කිරීම සිදුකරන බවත් ගොවීන් පෙන්වා දෙති.

මේ හේතුව නිසා ගොවීන්ට සිදුව ඇත්තේ නෙලාගන්නා වී අස්වැන්න මහ පාරේ හෝ පාලම්  උඩ දමා දින ගණනාවක් අව්වේ වියළා ගැනීමටය.

එහිදී විශාල වශයෙන් තම අස්වැන්න  විනාශ වෙමින් පවතින බව ද ඔවුහු පෙන්වා දෙති.

විල්ගමුව ප්‍රදේශයේ වී අස්වනු නෙලන ගොවීන් හමුවීමට ගිය අපට ඔවුහු දේශපාලකයන්ට දැඩි ලෙස විරෝධය දක්වමින් කතා කරන්නට වීම විශේෂත්වයකි.

පාර්ලිමේන්තුවේ සිටින දේශපාලනඥයින් තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීමට  විවිධ උපක්‍රම භාවිත කරමින් සිටින බවත් මෙතෙක් ගොවියා ආරක්ෂා කිරීම සඳහා කිසිඳු පියවරක් නොගැනීම නිසා අද දුෂ්කර පළාත්වල සිටින ගොවීන් වන අලින්ගෙන් පරිසරයෙන් ජලයෙන් පමණක් නොව නෙලාගන්නා අස්වැන්නෙන් ද බැට කන බව ඔවුහු චෝදනා කරන්නට වූහ.

කනකර බඩු උගසට තබා මෙවර වී වගාව ආරම්භ කළ ද අවසානයේ දී තම නිෂ්පාදන තුට්ටු දෙකට ලබාගැනීම සිදුකරන බවත් වී මිලදී ගැනීම සඳහා කිසිඳු වැඩපිළිවෙළක් මෙතෙක් තම ප්‍රදේශයේ ක්‍රියාත්මක කොට නැති බවත් සඳහා කිලෝවකට රුපියල් තිස් අටක  සහතික මිලක් ප්‍රකාශයට පත් කෙරුණ ද එම සහතික මිලට වී මිලදී ගන්නේ කෙසේදැයි කවුදැයි තමන් ප්‍රශ්න කරන බවද ගොවීහු ප්‍රකාශ කරයි.

රටක නීතියක් පැනවුව ද නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජයට හැකියාවක් නොමැති බවත් මේ  ගමේ ගොඩේ සිටින අධ්‍යාපනයක් නොමැති වූ ජනතාවට පවා එය පැහැදිලිව තේරෙන බව ගොවීන් දැඩි ලෙස ප්‍රකාශ කරන්නට වූහ.


More News »