ජනපති බලතල අවම කරන්න එකඟ වුණා

2018-02-27 09:48:00       770
feature-top
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශාල කැපකිරීමක් කර 2015 ජනවාරි 08 වෙනිදා ලැබු ජන වරමට අනුව බලතල අවම කිරීමට එකඟ වූ බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ රුපියල් ලක්ෂ 685 ක වියදමකින් යුතුව ඉදි කරනු ලබන ගාල්ල, නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිවුමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමේ උත්සව අවස්ථාවට පසුගියදා එක් වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

" විධායක ජනාධිපති ධුරයේ බලතල වැඩි බව මහජනතාව මතයක් ගොඩනැගුවා. එය අහෝසි කළ යුතු බව ප්‍රකාශ කළා. ඒ අනුව ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2015 ජනවාරි 08 වෙනි දා මහජනතාවගේ අනුමැතිය ලැබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සදහා ලොකු කැප කිරීමක් කළා. එතුමාගේ බලතල අවම කිරීමට එකග වුණා. 19 වෙනි සංශෝධනයට පෙර අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමේ බලය, අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමේ බලය තිබුණේ ජනාධිපතිවරයාට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව දැන් ජනාධිපතිවරයාට එවැනි බලයක් නැහැ. එම බලතල අවම කළේ විධායකයට බලතල වැඩි නිසා. දැන් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැරීමට බලයක් නැහැ. එසේ විසුරුවා හැරියහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව ම දක්වා තිබෙනවා රජයක් පිහිටුවන ආකාරය. ඒක තනි පක්ෂයක ආණ්ඩුවක් නම් කොහොමද කරන්නේ, ජාතික ආණ්ඩුවක් නම් කොහොමද කරන්නේ කියලා හරියටම නීතියේ සඳහන් වනවා. එසේ තිබියදී ඇතැම් මාධ්‍ය රටේ අගමැතිවරයා වෙනස් කරන්න හදනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව අගමැති පත් කිරීමට බලය ජනාධිපතිට තියෙනවා. ඉවත් කිරීමට බලයක් නැහැ. ජාතික ආණ්ඩුවක ස්ථාවර බව ඇති කිරීමට වසර 4 ½ක් යන තුරු පාර්ලිමේන්තුව විසුරුවන්න හෝ අගමැතිවරයා ඉවත් කරන්න බැහැ. ඉන් පසු ප්‍රතිපාදන පැහැදිලි ම සඳහන් කරල තියෙනවා. රටේ ස්ථාවරභාවය පැහැදිලිව 19 වන සංශෝධනයෙන් සුරක්ෂිත කරල තියෙනවා. අගමැති ඉවත් කරන්න, ආණ්ඩුව ඉවත් කරන්න කියල කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවල නැති අයයි” යැයි කීය.

(under the courtesy of adaderana.lk news web)

More News »