පෙබරවාරි මස 21 සිට 25 තෙක් මසුන් මැරීම තහනම්

2018-01-28 12:57:00       734
feature-top
ඉන්දීය ධීවරයින්ට කච්චතිව් හා ඒ අවට මුහුදේ මසුන් මැරීමේ කටයුතු පෙබරවාරි මස 21 දා සිට 25 දා දක්වා ඉන්දීය නාවික හමුදාව විසින් තහනම් කොට තිබේ.

යාපනයේ කච්චතීව් ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පෙබරවාරි මස 23 හා 24 යන දිනවලදී පැවැත්වීමට නියමිත බැවින් මේ තීරණය ගෙන ඇත.

රාමේස්වරන් ආරක්ෂක කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති අතර එම සාකච්ඡාවට රාමේස්වරන් නාවික හමුදාවේ ප්‍රධානීන්,පොලිස් ප්‍රධානීන්,වෙරළාරක්ෂක නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගි වී ඇත.

මේ සාකච්ඡාවේදී කච්චතීව් වාර්ෂික මංගල්‍යය ඉන්දියාවෙන් සහභාගි වන සෑම අයෙකුම රජයේ අවසරය සහිත විශේෂ හැදුණුම්පත ලබාගත යුතු බවත්, ඔවුන්ට මත්පැන්, මත්ද්‍රව්‍ය පොලිතීන් ඇතුළු තහනම් ද්‍රව්‍ය කිසිවක් රැගෙන යාමට අවසර ලබා නොදෙන ලෙසත් ඉන්දීය පොලීසියට දැණුම් දී තිබේ.

ඉන්දීය බැතිමතුන් විශාල පිරිසක් මේ මංගල්‍යයට සහභාගී වන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පිරිසක් මෙවර නිල ඇදුමින් සැරසී කච්චතිව් දේවස්ථානයට යාම සුදුසු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතත් රාමේෂ්වරන් ආරක්ෂක කාර්යාලීය නිලධාරීන් එම යෝජනාව ප්‍රතික්ෂේප කොට ඇත.

කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට අයත් දූපතක් බැවින් වන්දනාකරුවන්ට ආරක්ෂාව සැපයිය යුත්තේ ශ්‍රී ලංකාවෙන් නිසා ඊට ඉන්දීය පොලිස් නිලධාරීන් දූපත තුළ සේවයේ යෙදවීම අනවශ්‍ය බව තීරණය කොට තිබේ.

නමුත් මංගල්‍යය පැවැත්වෙන කාලය තුළදී ඉන්දීය නාවික හමුදාව, වෙරළාරක්ෂක නිලධාරීන්, පොලිස් මුර සංචාරක යාත්‍රා, ආගමන විගමන නිලධාරීන්, රේගු නිලධාරීන් හා ගිලන් රථ බෝට්ටු සේවාව මේ කාලයේදී ක්‍රියාත්මක විය යුතු බවට තීරණය කොට තිබේ.

ඉන්දීය වැසියන්ට වීසා නොමැතිව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ ලැබෙන එකම අවස්ථාව මේ කච්චතිව් වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන දින දෙක පමණි.

(under the courtesy of adaderana.lk news web)

More News »