''බැඳුම්කර වාර්තාවේ එජාපයට අවාසි කොටසක් ඉවත්කරලා'' - ඒකාබද්ධය කියයි

2018-01-20 08:57:00       698
feature-top

ජනාධිපති කාර්යාලය කතානායකවරයා මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන්නේ මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසමේ පූර්ණ වාර්තාවක් නොවන බව ප්‍රකාශ කරන ඒකාබද්ධ විපක්ෂය, ජනාධිපති කොමිසම ජනාධිපතිවරයාට භාර දුන් අසංශෝධිත වාර්තාවේ මුල් පිටපතක් ලබාදෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කිරීමට යයි.

මේ සතිය ඇතුළත ජනාධිපති වෙත එම ලිඛිත ඉල්ලීම කිරීමේ කටයුත්ත ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා වෙත පවරනු ලැබ තිබේ.

''පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති වාර්තාවේ ඉතා වැදගත් තොරතුරු රාශියක් වසන් කරලා''

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති වාර්තාවේ ඉතා වැදගත් තොරතුරු රාශියක් වසන් කර ඇති බව එම වාර්තාවේ පිටු 100කට වඩා අඩුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබීමෙන් පෙනී යන බව පැවැසූ බන්දුල ගුණවර්ධන මහතා, බැංකු ක්‍රමය, මූල්‍ය ක්‍රමය සහ බැඳුම්කර වෙළෙඳපොළ ක්‍රියාවලියට අයත් වාර්තාවේ ඇතුළත්වන සංවේදී තොරතුරු රහසිගතව තබා ගැනීම පිළිබඳව විරෝධතාවක් නැතත් එවැනි තොරතුරු ඇතුළත් වන්නේ පිටු කීපයක පමණක් බැවින් බැඳුම්කර වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට ඒවා අත්‍යවශ්‍ය බවත් කියයි.

විශේෂයෙන් කොමිසමේ මුල් වාර්තාවේ පිටපතක් තමා ලබාගත් බව රවි කරුණානායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබූ අතර ඔහුගේ බලපෑම මත ඔහු හා එජාපයට අවාසියක් වෙතැයි සිතන කොටස් හිතාමතා ඕනෑකමින් ඉවත් කරවා ගෙන පාර්ලිමේන්තුවට වාර්තාව දුන් බවට සැකයක් තිබෙන බවද ගුණවර්ධන මහතා කියයි.

ඔහු මෙසේද කීය.

''ජනාධිපතිට භාරදුන් කොමිෂන් වාර්තාවේ මුල් පිටපත අපට ලබානොදුනහොත් බැඳුම්කර විවාදයේදී අප විවාද කරන්නේ සමහර වැදගත් කරුණු නොදැනයි. ඒ නිසා පැහැදිලි විවාදයක් වෙන්නත් එජාපය කර ඇති මහ පරිමාණ වංචාවක් හෙළිදරව් කර ගැනීමටත් අදාළ වන පරිද්දෙන් ජනාධිපති ළඟ ඇති මුල් වාර්තාවේ පිටපත් ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන්නැයි ජනාධිපති වෙත ලිපියක් මේ සතියේ යවනවා.''


(under the courtesy of nethnews.lk news web)

More News »